ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක ඒකකය සිදු කළ නවතම සමීක්ෂණයකින්, වත්මන් ජනාධිපතිවරයාගේ සහ රජයේ පාලන කාර්ය සාධනය සම්බන්ධයෙන් ජනතාව අතර ඉහළ ප්‍රසාදයක් පවතින බව අනාවරණය වී තිබේ.
සමීක්ෂණයට අනුව ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් ජනතා අදහස් දෙපාර්ශ්වයකට බෙදී ඇත. ඒ අනුව, 45.3%ක් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්ව ඇති අතර, 44.0%ක් එම කටයුතු පිළිබඳ අතෘප්තිය පළ කර තිබේ. නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධ ප්‍රසාදය 34.8%ක් ලෙස පහළ මට්ටමක පවතින බවද සඳහන් වේ.
ආර්ථික අභියෝග පවතින පසුබිමක වුවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ජනතාවගෙන් 75.5%ක් ප්‍රසාදය පළ කර ඇති බව සමීක්ෂණය පෙන්වා දෙයි.
එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් 29.4%ක ප්‍රසාදයක් වාර්තා වී තිබේ. ජාතික ජන බලවේගය (NPP) කාර්යක්ෂම පාලනයක් ගෙන යා හැකි බවට 62.8%ක් විශ්වාසය පළ කර ඇති අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 64.1%ක ජනතාවක් සහය දක්වන බවද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, එම ක්‍රමය වහාම අහෝසි කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකන්නේ 23.6%ක් පමණි. තවත් 40.5%ක් අදහස් කරන්නේ එය අහෝසි කළ යුතු වුවද, වර්තමානයේ එය හදිසි ප්‍රමුඛතාවක් නොවන බවයි.
දිට්වා (Ditwah) ආපදා සහන සේවාව සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය පිළිබඳව 68.6%ක් සෑහීමකට පත්ව ඇති බවද වාර්තා වේ.
එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව 51.6%ක් ප්‍රසාදය පළ කර ඇති අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බවට 67%ක් විශ්වාසය පළ කර තිබේ.
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, වත්මන් දේශපාලන නායකත්වය සහ රට තුළ සිදු කෙරෙන ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව අතර යම් සුබවාදී අපේක්ෂාවක් පවතින බව පෙන්වා දී ඇත.


