― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹදිව සංචාර දැඩි අර්බුදයක

දඹදිව සංචාර දැඩි අර්බුදයක

දඹදිව වන්දනා චාරිකාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ට දීර්ඝ කාලයක් තිස්සේ හිමිව තිබූ මාසයක සහන වීසා පහසුකම මේ වනවිට අත්හිටුවා ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි. එම තත්ත්වය හේතුවෙන් වන්දනාකරුවන්ට මෙන්ම විදේශ බෞද්ධ චාරිකා සංවිධානය කරන ආයතනවලටද සැලකිය යුතු අසීරුතා මතුව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව සඳහන් කළේය.

බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පසුගිය 14 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉන්දීය රජය දීර්ඝ කාලයක් තිස්සේ දඹදිව වන්දනාකරුවන් සඳහා සහනදායී වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන් විසින් වන්දනාකරුවන්ගේ ලේඛන ඉදිරිපත් කර සමූහ වශයෙන් වීසා ලබා ගැනීමේ පහසුකම පැවතුණි. එහෙත් පසුගිය මාස තුන හතරක කාලය තුළ එම සහන වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, වන්දනාකරුවන්ටද සාමාන්‍ය සංචාරකයන් මෙන්ම පෞද්ගලිකව කොළඹට පැමිණ වීසා අයදුම් කිරීම අනිවාර්ය වී තිබේ. මීට පෙර සහන ක්‍රමය යටතේ රුපියල් 3,875ක් වූ වීසා ගාස්තුව වෙනුවට මේ වනවිට රුපියල් 9,850ක් ගෙවීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව, පෙර පැවති පරිදි සමස්ත කණ්ඩායම වෙනුවෙන් චාරිකා සංවිධායකයන්ට වීසා ලබා ගැනීමේ පහසුකමද තවදුරටත් නොමැති බව සඳහන් කළේය.

දිනෙන් දින ඉහළ යන වියදම් හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා අවලංගු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් බෞද්ධ චාරිකා සංවිධායක ආයතනවල සේවකයන්ගේ රැකියාද අවදානමට ලක්ව ඇති බවද ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉන්දීය ජාතිකයන් සඳහා ශ්‍රී ලංකාවෙන් නොමිලේ වීසා පහසුකම් ලබාදෙන පසුබිමක, ශ්‍රී ලාංකික දඹදිව වන්දනාකරුවන් සඳහාද මාසයක සහන වීසා ක්‍රමය යළි ලබාදීම සඳහා රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් විය යුතු බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය ඉල්ලා සිටී.