මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වාහන විකිණීම් සම්බන්ධ දැන්වීම් විශාල වශයෙන් පළවෙමින් පවතී. වාහන ආනයනය කරන ආයතන සහ අලෙවි නියෝජිතයන් වාහනවල මිල, ලීසිං පහසුකම්, රක්ෂණ ආවරණ, වගකීම් කාලය, සේවා වාර සහ දුරකථන අංක ඇතුළු තොරතුරු ප්‍රසිද්ධ කරමින් පාරිභෝගිකයන් වෙත ළඟා වීම වර්තමානයේ සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්ව තිබේ.
එහෙත්, දේපළ, ඉඩම් සහ වාහන විකිණීම් සඳහා ෆේස්බුක් සමූහ සහ පිටු භාවිත කරන ඇතැම් පිරිස් එම ක්‍රමවේදය වංචා සහ සංවිධානාත්මක කොල්ලකෑම් සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත. එවැනිම වාහනයක් විකුණා, පසුව එම වාහනයම බලහත්කාරයෙන් නැවත පැහැරගැනීමේ ජාවාරමක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත විරසූරියගේ මහජන දිනයේදී ලැබුණු පැමිණිල්ලක් මතය. පොලිසියෙන් අසාධාරණයට ලක්වූ බව පවසමින් පැමිණි පුද්ගලයෙකු, රුපියල් ලක්ෂ 40ක් ගෙවා මිලදී ගත් වෑන් රථය රැගෙන යමින් සිටියදී පිරිසක් ගිනිඅවි පෙන්වා තර්ජනය කර වාහනය පැහැරගත් බවත්, ඒ සම්බන්ධයෙන් ගම්පහ පොලිසියට කළ පැමිණිල්ල භාර නොගත් බවත් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණි.
විමසීමේදී එම වෑන් රථය බැලුම්මහර මුදුන්ගොඩ ප්‍රදේශයේ වාහන අලෙවිසැලකින් මිලදී ගෙන ඇති බව හෙළිවීමත් සමඟ, සිද්ධිය පිළිබඳ විමර්ශනය බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්නගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකර තිබූ එම වෑන් රථය පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අවස්ථාවල විකුණා ඇති අතර, සෑම අවස්ථාවකදීම එය මිලදී ගත් පුද්ගලයන්ගෙන් සංවිධානාත්මක ලෙස නැවත කොල්ලකාගෙන ඇති බවයි.
ඒ අනුව, සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, ෆේස්බුක් දැන්වීම් මගින් වාහන අලෙවි කර, පසුව ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් පසුපස හඹා ගොස් වාහන බලහත්කාරයෙන් පැහැරගැනීම සංවිධානාත්මකව සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
විමර්ශනවලදී මෙම ජාවාරම මෙහෙයවූ බවට සැකකරන වාහන අලෙවිසැල් හිමිකරු ඇතුළු තවත් සැකකරුවන් පිළිබඳ තොරතුරුද පොලිසිය හඳුනාගෙන තිබුණි. එහෙත් ඔවුන් පදිංචි ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කළද ප්‍රධාන සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව අනාවරණය වී ඇත.
පසුගිය 14 වැනිදා නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි අදාළ වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවස සෝදිසි කිරීමේදී එහි නවතා තිබූ ජීප් රථයකින් කඩු දෙකක්, පිස්තෝල මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ තුනක් සොයාගෙන ඇති අතර, එම රථය සහ සොයාගත් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම කණ්ඩායම සම්බන්ධයෙන් මෙවැනිම වාහන පැහැරගැනීම් දෙකකට අදාළ පැමිණිලිද ලැබී ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම තවත් කොල්ලකෑම් රැසක් සිදුකර තිබිය හැකි බවටද සැක පළකරමින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, පලාගොස් සිටින සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර මෙහෙයුම් සිදුකරයි.


