ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ගුවන්තොටුපළ, වරාය සහ ජාත්‍යන්තර තැපැල් හුවමාරුව ඔස්සේ මෙරටට ඇතුළුවන මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකරමින් සිටින බවයි.
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා මහතා මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ, 2026 ජුනි මාසය තුළ පමණක් ජාත්‍යන්තර තැපැල් හුවමාරුව මඟින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83.02ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දිනපතා විශාල පාර්සල් සංඛ්‍යාවක් මෙරටට ලැබෙන බැවින් සියල්ල සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු කාර්යයක් බවද ඔහු සඳහන් කළේය. ඒ හේතුවෙන් ස්කෑනර් තාක්ෂණය භාවිත කර පාර්සල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැක සහිත ඒවා වැඩිදුර විමර්ශන සඳහා යොමු කරන බවද ඔහු පැහැදිලි කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විශේෂයෙන් “කුෂ්” වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එවැනි මත්ද්‍රව්‍ය බොහෝ අවස්ථාවල තායිලන්තයේ සිට මෙරටට එවා ඇති බවට අනාවරණ වී ඇති බවත්ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නැවත සමාජගත කර ඔවුන් ඵලදායී පුරවැසියන් ලෙස සමාජයට එක් කිරීමේ අරමුණින් විවිධ පුනරුත්ථාපන වැඩසටහන් ද ක්‍රියාත්මක වන බවද චන්දන පුංචි හේවා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


