භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අදාළ ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව, වසර ගණනාවක් පුරා පැවති පාලන හා පරිපාලන ක්‍රියාපටිපාටිවල දුර්වලතා හේතුවෙන් සිදුවූවක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය මෑතකදී ස්ථාපිත කළ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ නොවන අතර, දිගු කාලයක් තිස්සේ පැවති පරිපාලනමය අඩුපාඩු සහ පද්ධති දුර්වලතා හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවයි.
අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵල සහ ඉදිරි ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
විමර්ශන අවසන් වන තෙක් සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීමක් ලැබී නොතිබූ නමුත්, ශ්‍රී ලංකා CERT ආයතනය විසින් අදාළ ඊමේල් සර්වරයේ පැවති ආරක්ෂක දුර්වලතා පිළිබඳව මීට පෙර දැනුම් දී තිබූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
තවද, පද්ධතියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරන තෙක් සියලුම ගෙවීම් සම්බන්ධ ලේඛන භෞතිකව පරීක්ෂා කර, ඒවායේ නිවැරදිභාවය තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


