හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිර සිටින සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සලකා බැලීම ලබන 30 වෙනිදා දක්වා කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(22) නියෝග කළා.
කෙසේ වෙතත් සුගීෂ්වර බණ්ඩාර ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම මුදලට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සිදුකර නොමැති බවට ජනපති ලේකම් කාර්යාල ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇති බවයි.
කිසිදු ව්‍යාපෘතියක් සිදු නොකළ ද එහි සේවකයින් 134 දෙනෙකු සේවය කළ බවත් ඔවුන් කළ සේවය සම්බන්ධයෙන් මාසිකව හෝ වාර්ෂිකව කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සුගීෂ්වර බණ්ඩාර නමැත්තාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 30වනදා සලකා බලන බවයි.
ඒ අනුව ඔහු ලබන 30වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


