ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැත්වූ විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී, එක් නිවසක තිබී ගිනි අවියක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම විශේෂ මෙහෙයුම ඊයේ (22) දිනයේ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කර තිබුණි.
මෙහෙයුම අතරතුර විශාල සංඛ්‍යාවක සුනඛයන් ඇති කරමින් ඉතා අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේ, එහි සජීවී මදුරු කීටයන් හමුවූ අතර, ඒ සමඟ ගිනි අවියක්ද සොයාගෙන තිබේ.
ඒ අනුව පොලීසිය විසින් අදාළ ගිනි අවිය භාරයට ගෙන, එම නිවසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන ආරම්භ කර ඇත.
තවත් නිවසක සිදු කළ පරීක්ෂාවකදී සජීවී මදුරු කීටයන් හමු වූ අතර, එහි නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති බව සඳහන් වේ.
මෙහෙයුම අතරතුර සජීවී මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවාස හා අවට පරිශ්‍ර පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, ඩෙංගු මර්දන මෙහෙයුම්වලට සෞඛ්‍ය අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


