අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කළ සියයට 12.5 අතිරේක බද්ද සියයට 10 දක්වා අඩුකර ඇත.
බලහත්කාරයෙන් ලබා ගන්නා ලද ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැනවීමට යෝජිතව තිබූ 12.5% ක අතිරේක බද්ද 10%ක අවම ප්‍රතිශතයක් දක්වා අඩු කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි.
මෙම තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ඉතා ධනාත්මක ප්‍රතිඵලයක් ගෙන දෙන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම සාධාරණ වෙළෙඳාම, වගකිවයුතු ව්‍යාපාරික පිළිවෙත් සහ ජාත්‍යන්තරව පිළිගත් කම්කරු ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙම තීරණය හරහා මනාව පිළිබිඹු වන බව ද රජය අවධාරණය කරයි.
මෙම බදු සංශෝධනය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික අපනයන භාණ්ඩවල තරගකාරිත්වය තවදුරටත් ඉහළ යනු ඇත. මෙය මෙරට ක්‍රියාත්මක තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විදේශීය ආයෝජකයන් සහ ගැනුම්කරුවන් තුළ ධනාත්මක සංඥාවක් ඇති කිරීමට හේතු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
විනිවිද පෙනෙන සහ තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන සක්‍රිය දායකත්වය ද මෙම බදු සහනය හිමිවීම හරහා ජාත්‍යන්තරය හමුවේ තහවුරු වී තිබේ.


