කන්න බොන්න නැතත් රටක් ඕනෑ කියපු අයට දැන් කන්න බොන්න තියා රටකුත් නැති බවත් ආණ්ඩුව තව නොබෝ දිනකින් රුසියාවේ යුද්ධය හෝ විකුණාගෙන කන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අකුරැස්ස තිබොටුවාව නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේද කීය.
“උනුත් එකයි, මුනුත් එකයි කියන එකේදී අප උනුත් නෙවෙයි අප මුනුත් නෙවෙයි. අපි අලුත් ගමනක් යන අලුත් පක්ෂයක්. අනාගතයේදී උන්ටයි මුන්ටයි වෙනස් ගමනක් යන්න වෙනවා. ඒක අප තේරුම් ගත යුතුයි. කන්න නැතත් බොන්න නැතත් රටක් ඕනෑ කියා ආපු අයට දැන් කරන්නත්, බොන්නත් නෑ රටකුත් නෑ.
සමගි ජන බලවේගය අලුත් පක්ෂයක් හැටියට පිහිටුවා මාසයකින් මැතිවරණයට නාම යෝජනා දුන්නා. හය මාසයකින් මැතිවරණයට අප ඉදිරිපත් වුණා. පනස් හතර දෙනකුට පාර්ලිමේන්තුවට ඇවිත් අප විපක්ෂය බවට පත්වුණා. තව අවුරුදු පහක් යද්දී අප අනිවාර්යයෙන් රටේ ආණ්ඩුවක් පිහිටුවනවා. පවතින ආණ්ඩුව ජනතාවගේ හෘද සාක්ෂියෙන් පරාජය වෙලා ඉවරයි. විකල්පයක් හැටියට අප පිළිගන්න ජනතාව සූදානමින් ඉන්නවා.
පක්ෂය නිර්මාණය වුණේ ජනතාවගේ වුවමනාවට මිස අපේ වුවමනාවට නෙත්වෙයි. රනිල් එපා, රනිල් එක්ක බෑ කිව්වේ ජනතාවයි. රනිල් එක්ක බෑ කියා එළියට බැස්සේ ජනතාවයි. එතකොට අපි ඔබත් එක්ක අත් වැල් බැඳගත්තා. මේ පක්ෂය නිර්මාණය කිරීමට පාර කපාදීම ගැන රනිල්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.
අප යහපාලන ආණ්ඩුවේ හිටියට ජරාජීර්ණ වැඩ කරපු ඔක්කොම කට්ටිය තවම එක්සත් ජාතික පක්ෂයේ ඉතුරුවෙලා ඉන්නවා. යහපාලන ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක්. අසාර්ථක වෙන්න තිබුණ හේතු කාරණා ඔබ දන්නවා. ඒවට වගකියන්න ඕනෑ සේම අය තවම එතන එකතු ක්වෙලා ඉන්නවා. ආණ්ඩුව ආවම බෙන්ස් කාර්වල නැග ඩිපෙන්ඩර්වලින් ආරක්ෂාව ගෙන උඩ පැන්නා ඇරෙන්න ජනතාව වෙනුවෙන් යමක් කළේ නැහැ. ඒක තමයි ඒගොලෝ ප්‍රතික්ෂේප වුණේ. යහපාලන ආණ්ඩුව කඩාගෙන වැටුනා. යහපාලන ආණ්ඩුව අතගහපු පාපකර්මවලට අප එක්ක ඉන්න කවුරුත් සම්බන්ධ වුණේ නැහැ. සමගි ජන බලවේගයේ අප කවුරුන්වත් ඒක අපේ ආණ්ඩුවක් කියලා කියන්න සූදානම් නැහැ. අද හැමතැනම පෝලිම්, කිරිපිටි, සිමෙන්ති, ගෑස් පෝලිම්, ගොවියා අනාථ වෙලා. අමාරුවෙන් හරි ගොවියා සියයට 25ක පලදාව ගත්තත් තෙල් නැති නිසා ගොයම් ටික කපා ගන්න විදියක් නැහැ. තෙල් නැති නිසා බෝට්ටු යන්න බැරි වෙනවිට මාළු නැති වෙනවා. අද ජනතාවට ජිවත් වෙන්න බැහැ. රුසියාවේ යුද්ධය විකුණා හරි ජනතාවට අදෝනා කියන්න පුළුවන්ද බලනවා ඇති.
යුද්ධය තිබෙන රුසියාවේ මිනිස්සු පෝලිම්වල නැහැ. යුද්ධය තිබුණත් මිනිස්සු කාල බීලා ඉන්නවා. මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තිබෙනවා. යුද්ධය නිසා අපට කෑම බීම එන්නේ නැහැ කියයි. මොනවා හරි බොරු කියා ජනතාව රවටන එක තමයි මේ දේශපාලකයන් හැමදා කළේ. වර්තමානයේ මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. කුලී වැඩ නැහැ. කණකර ආභරණ බැංකුවල. පර්ස් එකේ තිබෙන්නේ හැඳුනුම්පත විතරයි. මුදල් නැහැ. බස් ගාස්තුව තිබුණට බස්, කෝච්චි නැහැ. පොහොට්ටුවට කතිරය ගැහුව අයත් මේ දුක විඳිනවා. බෙදී ගිහින් නැහැ. මා දකින විදියට රට කඩාවැටුණ රටක් බව අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. ලෝකයට ණය වෙලා, ණය ගෙවා ගන්න බැහැ. මේක දවසකින් දෙකකින් වුණ දෙයක් නොවෙයි. එදා සුද්දන් යද්දී ඩොලර් එකයි, රුපියලයි එක සමානයි. කඩා වැටීමට හේතූව අවුරුදු 74ක් පැවතුණ දේශපාලන සංස්කෘතියයි. පැවති සියලුම ආණ්ඩු මේකට වගකිව යුතුයි.
ජනතාවට පීඩනය වැඩිවෙන්න, වැඩිවෙන්න දේශපාලනඥයන්ට ජනතාව රවට්ට ගෙන ඉන්න වටපිටාව වැඩියෙන් ශක්තිමත් වුණා. ජනතාවට දේශපාලනඥයා නැතිව ජීවත් වෙන්න බැරි වුණා. දුප්පත්කම, පීඩනය වැඩින්වෙන විට දේශපාලනඥයා ඔබ ග්‍රහණයට අල්ල ගන්නවා. ජනතාව දුප්පත් නිසා දේශපාලකයාට ඡන්දයක් දිනන්න ලේසියි. තෑගි බෝග දෙනවා අරක්කු – කන්න – බොන්න දෙනවා. දේශපාලකයා කිට්ටු වෙනවා. ජනතාව රැවටෙනවා. මේක විනාශකාරී ක්‍රමයට ගිහිල්ලා.
සමගි ජන බලවේගය අලුත් සංස්කෘතියකට යන්න ඕනෑ. ආණ්ඩුවක් ඇවිල්ලා පිස්සු කෙළලා ගියාම අනිත් පක්ෂයට ඡන්දය දෙනවා. උන් පිස්සු කෙළින විට කලින් ඒවා අමතකයි. ආයෙමත් කලින් පිස්සු කෙළපු අයට ඡන්දය දෙනවා. අපේ අලුත් පිරිස ඉන්නවා. අලුත් මාර්ගයකට ගෙන යා යුතුයි. මේ පක්ෂයත් අර පක්ෂ දෙක ගිය විධියට ගියොත් මේ පක්ෂයෙනුත් ඔබට වැඩක් වෙන්නේ නැහැ. ඔබ මේ පක්ෂයේ ජීවනාලියයි. මේ පක්ෂයේ නායකයන්ට බලපෑම් කරන්න ඕනෑ. ඔය වෙනස හඳුනාගන්න. නැත්නම් ජනතාවට රැවුලයි කැඳයි දෙකම නැහැ. දැන් ඉන්නව වාගේ කබලෙන් ළිපට වැටී ළිපේ කරකුට්ටම් වෙලා අන්තිමට දත් මදින්න අගුරු කෑල්ලකට තමයි ගන්න වෙන්නේ. ඉදිරි මාස 04 ඇතුළත වෙනස් වේවි. එතකොට දූෂිත දේශපාලන පක්ෂ, ආණ්ඩු නිකම මකබෑවිලා, දියවෙලා යාවි. ඔබ වෙනස කළොත් ඔබේ දරුවන්ට අනාගතයක් තිබෙනවා.”


