තම ආදරණීය බිරිඳට තෑගි දීම සඳහා සොරකමේ ගිය සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී පවුම් 25ක රත්තරන් තැල්ලක් සහ පවුම් 4ක ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන තිබේ.
වැලන්ටයින් දිනය දා වැල්වැටිතුරේ වයෝවෘද්ධ දෙපළක් වාසය කරන නිවසකට කඩා වැදී මෙම සැකකරු පවුම් 29ක් වටිනා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් සිදු කළා.
ඊයේ (21) දිනයේදී මෙලෙස සොරාගත් ස්වර්ණාභරණ අලෙවි කිරීම සඳහා සැකකාරිය යාපනය නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලකට ගොස් ඇති අතර එහිදී මෙම කාන්තාව පිළිබඳව වෙළඳසැලේ කාර්ය මණ්ඩලයට සැක මතුවී පොලිසියට දැනුම් දී තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව පොලිසිය කඩිනමින් වෙළෙඳසැලට ගොස් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඇය සතුව තිබී රන් පවුම් 4ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් කාන්තාව පොලිස් ස්ථානයේ රඳවාගෙන කළ ප්රශ්න කිරීම්වලදී ඇය තමන්ට ස්වර්ණාභරණ ලබාදුන් පුද්ගලයා පිළිබඳව පොලීසියට පවසා තිබෙනවා.
කාන්තාවගේ ප්රකාශය අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කිරීමේදී වැල්වැටිතුරෙයි නිවසේ සිදුවූ සොරකමට සම්බන්ධ ප්රධාන සැකකරු ඔහු බව අනාවරණය විය.
සැකකරු සන්තකයේ තිබී පවුම් 25ක් වටිනා රත්තරන් තැල්ලක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.