දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර ප්රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (26) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ කඩවත දෙසට ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කළ සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ තවත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට පත්වන අවස්ථාවේ කුඩා ලොරි රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වෙත යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.
අනතුර සිදු වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලණිගම රථවාහන ඒකකයේ නිලධාරීන් සහ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට කුඩා ලොරි රථයේ සිර වී සිටි තිදෙනා පිටතට ගැනීමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදු වුණා.
විනාඩි 20 ක පමණ කාලයක් යාන්ත්රික උපකරණ ද භාවිතා කරමින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව තුවාලකරුවන් පිටතට ගෙන ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැණුනා.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලබා සිටින රියදුරුගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.