වත්මන් ජනාධිපතිවරයාටත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ත්රස්තයන් සොයන්න උනන්දුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 133 වැනි අදියර යටතේ අද (25) හම්බන්තොට, අම්බලන්තොට කිවුල කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
අද බොහෝ දෙනා තුළ පාස්කු ප්‍රහාරය ගැන නැවතත් කතාබහක් ඇතිව තිබෙන බවත් මෙහි දී විවිධ කතා තැන තැන කීම නොව විනිවිදභාවයෙන් යුක්ත වූ විවෘත නිවැරදි පරීක්ෂණයක් අවශ්‍ය බවත් තමා විශ්වාස කරන ආකරයට මේ සඳහා සාමාන්‍ය කොමිසමක් පත් කරනවා වෙනුවට දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන් ද සම්බන්ධ කළ යුතු බවත් ඒ සඳහා විවෘතව සත්‍යවාදීව නිවැරදි පරීක්ෂණයක් සිදු කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා පවා ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය පවා ගෙනවිත් පරීක්ෂණ පවත්වනවා කිව්වත් ස්කොට්ලන්ඩ්යාර්ඩ් එක පැත්ත පළාතේවත් නොගිය බවත් ඔහුට මේ ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තයන් සෙවීමට උනන්දුවක් නැති බවත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීම සැඟවන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මෙමඟින් විපතට පත් පවුල්වල සාමාජිකයන්ට සිදු වූ මහා ඛේදවාචකය වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සමගි ජන බලවේගයට කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කරන්න අවශ්‍ය නොවන නිසා අවංක විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත් පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන ගොඩනගන්න ප්‍රධාන කාර්යභාරය ඉටු කළ පුද්ගලයා ලෙස තමා, මෙම නින්දිත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම ලබා දීම සිදු කරන බව සඳහන් කළේය.
තමාද ඇමෙරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යන්නේ නැද්ද කියා විමසන බවත් තමාට අමෙරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යනවට වඩා රටේ පාසල් 10126ට ගොස් එහි අඩුපාඩුකම් සොයා බලා මේ රටේ 41 ලක්ෂයක් රජයේ අධ්‍යාපනයෙන් පෝෂණය වන දූදරුවන්ට ශක්තිය ලබා දීම වැදගත් බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.
තමන් මේ අඩුපාඩු සොයා පාසල් සුහුරු පාසල් බවට පත් කරනවා යැයි පවසන විට මේ දූදරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් මහපාරට බැස්සවිය හැකි බවත් එසේ වුවත් රටේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු සිසුවෙකු බිහි කිරීම තම අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.