බැසිල් රාජපක්ෂ බලන්නේ රාජපක්ෂ පවුල තුළ බලය පවත්වා ගැනීමට බවත් මීළඟට පත් වෙන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
“පළමුව එන්නේ මහ මැතිවරණය ද ජනාධිපතිවරණය ද කියලා කතා වෙනවා. කොහොම උනත් මීළඟට පත් වෙන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් විය යුතුයි. බැසිල් රාජපක්ෂ බලන්නේ රාජපක්ෂ පවුල තුල බලය පවත්වා ගන්නයි. මහින්ද රාජපක්ෂ මේ රටට යම් සේවයක් කළා. ඒක ඇත්ත. නමුත් පොහොට්ටුව කියන පක්ෂය තවදුරටත් පවුලේ බූදලයක් බවට පත් වෙලා. නාමල් රාජපක්ෂ ජාතික සංවිධායක කිරීමෙන් පෙනී යන්නේ ඒකයි.
ඔක්තෝබර් 18 වෙනකොට අලුත් ජනාධිපති පත් වෙන්න ඕන. ජනතාවගේ චන්දයෙන් පත් වෙන ජනාධිපති කෙනෙක් එක්ක නව ආණ්ඩුවක් හදාගත යුතුයි. ඇතැම් අයට බදු සහන දීලා පොඩි මිනිහට බදු ගැහුවා. වාද විවාද ගැන දැන් කතා වෙනවා. අපේ පොදු හතුරා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවයි. හෙට අපි සමගි ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරනවා. මේ ආණ්ඩුව පෙරළීමට හෙට අපි කසය අතට ගන්නවා.
විවිධ අය ඉදිරියට මේ සන්ධානයට එකතු වේවි. මේ වෙලාවේ කරන්න ඕන තව අපේක්ෂකයන් දාලා විරුද්ධ පක්ෂයේ ඡන්ද කඩන එක නොවෙයි. කළ යුත්තේ මහා සන්ධානයකට එකතු වීමයි. මම සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වෙන්නේ නෑ. අපි වගේ අය සමගි ජන සන්ධානයට එකතු උනාම තමයි ඒ සන්ධානය මැද මාවතේ යන්නේ. අපි කසේ ගහගෙන යනකොට ඩලස් මහත්තයත් ඉදිරියට එකතු වේවි.
අපි නිදහස ජනතා සභාව දෙකඩ වෙලා නෑ. මේ විපක්ෂය එකතු වෙලා හදන සන්ධානය නිර්මාණය කරන්නේ කවද්ද කියන මතය මත පමණයි එම ගැටුම තිබෙන්නේ. වෙන ගැටලුවක් නෑ. අලි පොහොට්ටු හවුලට අපි නැහැ. මම හිතන්නේ මුලින් තියන්න ඕන ජනාධිපතිවරණය. අවශ්‍ය නම් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක දවසේ තියන්න පුළුවන්
එතකොට ඡන්ද දායකයාට චන්ද පත්‍රිකා දෙකක දෙන්න වෙනවා. එතකොට ඡන්ද දායකයාගේ මනස අවුල් වෙනවා. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක දිනයක තියන්න මේක අවස්ථාව නෙවෙයි.“


