අප රටක් ලෙස ව්‍යවසායකත්වය ගැන සිතන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුව වුවත් ව්‍යවසායකත්වය ගැන සිතිය යුත්තේ පාසල් විෂය නිර්දේශය තුළ සිට බවත් සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 144 වැනි අදියර යටතේ අද (05) වව්නියාව දකුණ, සිංහල පැරකුම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සඳහා වන පරිසරය සහ සංස්කෘතිය පාසල් දිවියේ සිටම දූදරුවන්ට ලබා දිය යුතු බවත් එහි අදහස වන්නේ අධ්‍යාපනය පැත්තකට දමා ව්‍යාපාර කිරීම නොව ව්‍යාපාරි කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීම බවත්ය.
මේ තුළින් කාගේවත් වහලෙක්, අතකොලුවක්, එහෙයියෙක්, වන්දිභට්ටයෙක් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටිය හැකි පරපුරක් නිර්මාණය කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
රටම ක්රමයේ වෙනසක් ඉල්ලා සිටින බවත් එහි දී අධ්‍යාපනයේ ක්රමයේ වෙනසක් මෙන්ම විපක්ෂයක් ලෙස වැඩ කිරීමේ ක්රමයේ වෙනස ද සමගි ජන බලවේගය ඉටු කර ඇති බවත් නිදහසින් පසු විපක්ෂයේ සිට කිසිදු පක්ෂයක් මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
අධ්‍යාපනය දියුණු කරන්න නව සංකල්ප ඉදිරිපත් කරන විට විහිළුවට ලක් කරන බවත් දැරියන්ගේ සහ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් කතා කරන විට සංකල්පයක් ඉදිරිපත් කරන විට එදා විහිළුවට ලක් කළත් අද රජය එම සංකල්පය පාසල් දැරියන් මූලික කර ගෙන ක්‍රියාත්මක කරන බවත් තමා බලයට පැමිණි පසු එය පාසල් දැරියන්ට පමණක් නොව එම අවශ්‍යතාව සහිත සමස්ත කාන්තාවන්ටම එම පහසුකම් නොමිලේ ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එමෙන්ම බංකොලොත් රටක මෙවැනි වැඩ කළ නොහැකි බවට පවසන අයට කියන්න ඇත්තේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මුදල් සොයා නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න සුවිශාල වැඩ කොටසක් මේ වන විටත් ඉටු කර ඇති බවත් රට වෙනුවෙන් මුදල් සොයන්න ක්‍රම සහ විධි තමා දන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.