දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
ඊට අමතරව තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල රෝහල්වල ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ අනතුරින් මියගිය අය අතර වැලිමඩ, ඩයරබාවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් සිටින බවයි.
ඉන් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 55ක පුද්ගලයෙක් වන අතර අනතුරින් මියගිය වයස අවුරුදු 08ක කුඩා දැරිය ද එම ප්රදේශයේ පදිංචිකරුවක් බව සඳහන්.
එමෙන්ම වයස අවුරුදු 19ක සීදුව, රාජපක්ෂපුර පුර ප්රදේශයේ පදිංචි තරුණයෙක් ද අනතුරින් මියගිය අය අතර සිටිනවා.
අවිස්සාවේල්ල, තල්දූව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක යුද හමුදා සෙබළෙක් ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 62ක මාතර, රාහුල පාර ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ මාතර, ගොඩගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙක් ද අනතුරින් මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 20ක තරුණයෙක් ද ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු අකුරැස්ස, වලව්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් පුද්ගලයින් තිදෙනෙක් බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබන අතර ඉතිරි පිරිස දියතලාව මූලික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වනවා.
පාස්කු ප්රහාරයෙන් පසු ආරක්ෂක හේතූන් මත නවතා දැමූ ෆොක්ස් හිල් සුපර් ක්රොස් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) දිනයේ යළි ආරම්භ කෙරුණේ වසර පහකට පසුවයි.