කලා, විද්‍යා, වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතරව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ රටවල් විසින් ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක දහහත අතර පස් වෙනි කරුණ ලෙස ඉතා වැදගත් ස්ථානයක් දී ඇති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙරට සම්බන්ධයෙන් ඉතා සාධනීය මට්ටමක පවත්නා බවයි.
ලොව බොහෝ රටවල මේ කරුණ සම්බන්ධ විවිධ ගැටලු පවතින අතර බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එය පොදු ලක්ෂණයක් වුවත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය පවා බිහි කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සාධනීය පූර්වාදර්ශ අප රට සපයා ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
තව වසර පහක් ඉක්ම යද්දී සෑම ක්ෂේත්‍රයක ම ප්‍රමුඛත්වය ගනිමින් කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි කී අමාත්‍යවරයා අවධාරණය කළේ පරිපාලන ක්ෂේත්‍රය තුළ ද බහුතරයක් සිටිනුයේ කාන්තාවන් බවයි.
එහෙත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 225 දෙනා අතර කාන්තා නියෝජනය ඇත්තේ 12 දෙනෙකුගේ තරම් අතළොස්සක් බවත් මේ තත්වය වෙනස් කර දේශපාලන ක්ෂේත්‍රය තුළ පක්ෂ භේදයකින් තොරව කාන්තා නියෝජනය වැඩි කිරීම මගින් දූෂණ වංචාවලින් තොර රටක් නිර්මාණය කළ හැකි වනු ඇතැයි කියා තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.