― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර 12ක පෙම් කතාව නිම කිරීම නිසා මරාගෙන මැරුණු පෙම්වතාගේ වතගොත එළියට

වසර 12ක පෙම් කතාව නිම කිරීම නිසා මරාගෙන මැරුණු පෙම්වතාගේ වතගොත එළියට

දොළොස් වසරක් පුරා පැවැති ප්‍රේම සබඳතාවය අතහැර දැමීම නිසා කෝපයට පත් වූ තරුණයකු කටුගස්තොට මැණික්කුඹුරවත්තේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිනිතබා පෙම්වතිය සහ ඇගේ පියා ඝාතනය කර ඇති අතර ඔහුද එම ගින්නටම මැදි වී ජීවිතක්‍ෂයට පත් වීමේ පුවතක් ඊයේ (24) අළුයම වාර්තා විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙය මරාගෙන මැරෙන සිදුවීමක් බවට නිගමනය කර ඇති අතර ඊට මුල් වූ ප්‍රධාන හේතුව වී ඇත්තේ පෙම්වතිය විසින් වසර 12ක පෙම් සබඳතාවයක් මගහැරීමයි.

30 හැවිරිදි ඊෂ්වරදේවන් චන්‍ද්‍රවාදිනී සහ ඇගේ පෙම්වතා පාසල් සමයේ සිට පෙම්වතුන්ව සිට ඇති අතර විවාහ වන බවට පොරොන්දු ලබාදෙමින් ඔවුන් දෙමාපිය ආශිර්වාදයද සහිතව ඇසුර පවත්වාගෙන ගොස් තිබේ. තරුණයා මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක සේවය කරමින් සිටි තරුණයෙකි. මීට ටික කලකට ඉහතදී සොරකමක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

‘සොරෙකු’ සමඟ විවාහ වන්නට අකමැති බව පෙම්වතිය පැවසීමෙන් පසු මෙම ප්‍රේම සම්බන්ධතාව දෙදරා ගොස් ඇත. මේ හේතුවෙන් පෙම්වතාට පෙම්වතියගේ නිවස තහනම් කලාපයක් වූ අතර තරුණියගේ මව හා පියාද පෙම්වතාට විරුද්ධව චෝදනා නගමින් ඔහු නැවත මිතුරු වන්නට ආ අවස්ථාවන්හිදී විරෝධය පළ කර තිබේ.

දුප්පත් දිවි පෙවෙතක් ගත කල මෙම තරුණියගේ නිවස ලෑලිවලින් නිමවා ටකරන් සෙවිලි කර තිබූ කුඩා එකකි. තරුණියගේ පියා 70 හැවිරිදි මුත්තුතම්බි ඊෂ්වරදේවන් බුලත්, පුවක් වෙළෙඳාමේ නිරත වී ජීවිකාව ගෙන ගිය අහිංසක පුද්ගලයෙකි.

සම්බන්ධතාව අතහැර දැමීම නිසා පෙම්වතා දැඩි ලෙස කෝපයට පත්ව සිටි අතර ඔහු සිය පෙම්වතියගේ නිවසට නිතර නිතර පැමිණ ආරවුල් ඇතිකර ගෙන තිබේ. සිද්ධිය වූ දින උදෑසන පෙම්වතා පෙට‍්‍රල් බූලියක්ද රැගෙන මෙම නිවසට පැමිණ තිබේ. චන්‍ද්‍රාවාදිනී සමඟ විවාහ ගිවිස ගැනීමට ඉඩ ලබා නොදුනහොත් සියලුදෙනාම මරා දමන බවට ඔහු එහිදී තර්ජනය කර තිබේ.

එහිදී චන්‍ද්‍රාවාදිනීගේ පියා සහ මවද මෙම ආරවුලට පැටලී ඇති අතර පෙම්වතා නිවසේ ඉදිරිපස දොර වසා දමා පෙට‍්‍රල් වත්කර ඊට ගිනි තබා ඇත. ඒ වන විට නිවසේ ගෑස් කාන්දුවක්ද සිදු වී ඇති අතර සීඝ්‍රයෙන් ගින්න පැතිරී ගොස් තිබේ. මෙම ගින්න හටගැනීමත් සමඟම වහා ක‍්‍රියාත්මක වූ අසල්වාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය අසාර්ථක ප්‍රයත්නයක් වී තිබේ.

ගිනි ගනිමින් තිබූ නිවසේ සිටි චන්‍ද්‍රාවාදිනීගේ මව දැඩි පරිශ‍්‍රමයක් දරා බේරාගැනීමට අසල්වාසීන් සමත් වී තිබේ. ඒ වනවිටත් ඇය දැඩි පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර ඇය මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණියගේ මව මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදී තිබූ අතර එයින් මෙම කරුණු අනාවරණය විය.

දොළොස් වසරක් පුරා පැවැති ප්‍රේම සබඳතාවය අතහැර දැමීම නිසා කෝපයට පත් වූ තරුණයා සියල්ලන්ම මරාගෙන මැරෙන්නට උත්සාහ ගත් බව ඇය ප්‍රකාශ කර තිබේ. ගින්න හේතුවෙන් ලෑලි ගෙදර මුළුමනින් අළු වී ගොස් තිබූ අතර තිදෙනාගේ සිරුරු දැවී ගොස් තිබූ ස්ථානයට නුදුරින් කුඩා යකඩ සේප්පුවක් දක්නට ලැබී ඇති අතර ඒ තුළ රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිට වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.