ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්
රට අභ්‍යන්තරයේ යුක්තිය, සාධාරණත්වය, ඉටු නොවන අවස්ථාවල ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් ඉතාලියේදී, නිව්යෝක්වලදී සිදු වුයේ ද එවැන්නක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී ඔහු මේසේද කීය.
“පාස්කු ප්‍රහාරය සිද්ධ කර දැනට අවුරුදු දෙකයි, මාස පහක් ගෙවී තිබෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු වින්දිතයන්ට යුක්තිය ඉටුකර නැහැ. චූදිතයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. වෙනත් පරීක්‍ෂණ සිදු කළා. මේ ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ ප්‍රධානම සිදුවීම පාස්කු ප්‍රහාරයයි. තමන් බලයට පත්වුණු පසු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඬුවම් දෙන බවට සහ එය වළක්වා නොගත් අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව එදා පොරොන්දු දුන්නා. ජනතාව ඒ පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තැබුවා. අවුරුදු දෙකයි, මාස පහක් තුළ ඒ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා.
ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පීඩාවට පත්ව සිටි සියලු දෙනා සන්සුන් කරන්න මැදිහත් වුණා. ප්‍රහාරයත් එක්ක ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝප වෙලා ප්‍රතික්‍රියා දක්වන්න සූදානම්ව සිටියා. කාදිනල්තුමා පෞද්ගලිකව මැදිහත් වී පිරිස සන්සුන් කර ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්නත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නත් පොරොන්දු වුණා. මුළුමහත් රටවැසියා හමුවේ කාදිනල්තුමා බැරෑරුම් ඉල්ලීමක් කර කතෝලික ප්‍රජාව ප්‍රතික්‍රියා දැක්වීමෙන් වළක්වා ගත්තා. ප්‍රහාරයේ වාසි විවිධ කණ්ඩායම් ගත්තත් කාදිනල්තුමා සද් චේතනාවෙන් මැදිහත් වී ඇතිවෙන්න ගිය ගැටුම්කාරී තත්ත්වය වළක්වා ගත්තා. ජනතාව වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව වගකීම ගත්තේ යුක්තිය ඉටුකරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. කතෝලික සභාවත් කෙටි කාලයක් තුළ මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සහ අනෙකුත් පරීක්‍ෂණවලින් බොහෝ කරුණු හෙළිදරව් වුණා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව දින කිහිපයක විවාද පැවැත්වූවා. බොහෝ සැකමුසු තැන් මේ විවාදයේදීත් හෙළිදරව් වුණා. වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම, අමෙරිකානු එෆ්.බී.අයි. ආයතනය පැමිණ කළ පරීක්‍ෂණ, ඒ පරීක්‍ෂණවලින් හෙළි වූ කරුණු සහ වාර්තා අනුව සිදු කළ යුතුව තිබුණු පරීක්‍ෂණ ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.”
නුවන් හෙට්ටිආරච්චි