අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මඟින් ඊයේ (08) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එක් සැකකරුවෙක් නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000/= මුදලක් බලෙන් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ජනවාරි 08 වන දින වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව එම සැකකරුවා ඊයේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණේය.
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පසුගිය ජනවාරි 07 වන දින තවත් පැමිණිල්ලක් ලැබී තිබුණි.
එම පැමිණිල්ල අනුව සිදුකරන ලද විමර්ශනයේදී තවත් සැකකරුවෙකු ඊයේ දහවල් කාලයේ කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.