දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර තිබේ.
අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙම නිදහස් කිරීම සඳහා අදාළ නිෂ්පාදනවල අවම වශයෙන් සියයට 50ක නැවුම් කිරි අඩංගු විය යුතුය.
පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 09 වන දින සම්මත වූ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහතිකය සටහන් කළ අතර, එදින සිට එය බලාත්මක වීමත් සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, කිරි නිෂ්පාදනවලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බවයි.
නව සංශෝධන පනතට අනුව, ඔක්තෝබර් පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන ඩිජිටල් සේවාවන්ට වැට් බදු පැනවීමට තීරණය කර ඇත.
මීට අමතරව, වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම අනිවාර්යය කර තිබේ.