මේ වසරේ (2025) මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් දක්වා ගිය වසරේ ( 2024 ) එම කාලයට සාපේක්ෂව සියයට 7.14 කින් වර්ධනය වී තිබේ.
ගිය වසරේ ( 2024 ) මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6471 ක් විය.
මේ අනුව ශ්‍රී ලංකාවේ අපනයන අංශය මේ කාලයේ කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ වසරේ (2025) මුල් මාස පහේ දී මෙම මුළු අපනයන ආදායම නියෝජනය කරන මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන්න 5344.27 ක් දක්වා සියයට 5.46 කින් සහ මුළු සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන්න 1589.12 ක් දක්වා සියයට 13.2 කින් ද වර්ධනය වී තිබේ,
මේ අතර 2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1386.66 ලෙස වාර්තා වී ඇත. මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයකි. එය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය තවදුරටත් පවසයි.
