“සයුර“ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමය ධීවරයින්ට හදුන්වාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (14) ප.ව. 3.00 ට, තංගල්ල, කුඩාවැල්ල පොළ භූමියේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න හා ධීවර හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
රටේ ජනතාවගේ පෝෂණය උදෙසා මත්ස්‍ය සම්පත ලබාදෙන ධීවර කර්මාන්තයේ නියුතු ධීවර මහතුන්ගේද අවදානම කළමනාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් සතුටුදායක තත්වයකට ගෙන ඒමේ අපේක්ෂාව මුල්කර ගනිමින් “සයුර“ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව හඳුන්වාදීමට කෘෂිරක්‍ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබදව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය, ධීවර ජනතාවගේ මූල්‍ය තත්වයට ගැලපෙන ලෙස වාර්ෂිකව අලුත්කරගත හැකි පරිදියි සකස් කර ඇත්තේ.
ඒ අනුව රු.1850/-, රු.2450/- සහ රු.3050/- වර්ෂික වාරික මුදල් කාණ්ඩ යටතේ පිළිවෙලින් රු.1,200,000/-, රු.1,500,000/- සහ රු.2,000,000/- යන ආවරණ මට්ටම් සඳහා දායකත්වය ලබාගැනීමට හැකිවීම ධීවරයින්ට ලැබෙන විශේෂ වාසියක් වන අතර අවම වාරික මුදලක් යටතේ උපරිම ආවරණයක් සලසා දීම මෙම හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමය හදුන්වාදීම තුළින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය බලාපොරොත්තු වෙනවා.
මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායක වීම මඟින් ධීවරයින් මුහුදේදී මෙන්ම ගොඩබිම ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන්, හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු සඳහා මෙන්ම ධීවර කර්මාන්තයේ යෙදී සිටීමේදී මුහුදේදී සිදුවන අතුරුදහන්වීම්ද ආවරණය කිරීම මෙහි ඇති සුවිශේෂිතත්වය වෙනවා.