බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් වී තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා මෙම සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි (නීතිඥ) තුෂාරි ජයසිංහ මහත්මිය සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වුණා.
මෙහිදී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර දිගු කලෙක පටන් පැවතෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනේ වැදගත් හවුල්කරුවෙකු වී ඇති බවයි.
සෞදි සංවර්ධන අරමුදල හරහා ජලය, බලශක්තිය, සෞඛ්‍යය, නීතිය සහ අධ්‍යාපනික යන ක්ෂේත්‍රවල ව්‍යාපෘති සඳහා සෞදි අරාබිය ලබා දුන් අනුග්‍රහය ඔහුගේ ඇගයීමට ලක්වුණා.
සංවර්ධනය සඳහා සෞදි අරමුදල සමඟ ශ්‍රී ලංකාව මෑතකදී ඇති කරගත් ගිවිසුම, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වැදගත් සන්ධිස්ථානයක් වූ බව කථානායකවරයා පෙන්වා දුන්නා.
දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍රවල සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක් පුරා පැවති සබඳතා කලිඩ් හමඩ් නසාර් අල්කතානි මහතා අවධාරණය කළා.
පසුගිය වසරවලදී, දෙරට අතර සබඳතා ශක්තිමත් වී ඇති බව ඔහු පෙන්වා දුන් අතර, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාලමක් ලෙස ක්‍රියා කරනු ඇති බව ද සඳහන් කළා.
අභිනව සභාපති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ අධ්‍යාපනික, වෙළඳ, යටිතල පහසුකම් සහ සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, ජනතාව සහ ව්‍යවස්ථාදායක අතර සබඳතාවය වර්ධනය කෙරෙහි සංගමයේ කාර්යභාරය ඔහු අවධාරණය කළා.
සංගමයේ අභිනව ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීනි (නීතිඥ) තුෂාරි ජයසිංහ මහත්මිය පැවසුවේ, දෙරට අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ කැපවීම වෙනුවෙන් මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයාට සිය කෘතඥතාව පළ කරන බවයි.
ශ්‍රී ලංකාව සහ එහි ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සංවාද සහ මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සඳහා ලබා දෙන නායකත්වය වෙනුවෙන් ඇය කථානායකවරයාට ද සිය කෘතඥතාව පළ කළා.
රැස්වීමට ප්‍රථම තානාපතිවරයා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණා.
තානාපතිවරයා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද හමුවුණා.
දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් බහුවිධ අංශ හරහා සහයෝගීතාවය සඳහා නව අවස්ථාවන් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවී තිබෙනවා.