ඇන්ජෙලා මර්කල් ගෙදර යන ගමන් පරදී
වසර 16ක පාලනයෙන් පසු සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට බලා සිටි ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්ට පරාජයේ අමිහිරි සිහිවටනයක් දායාද කළ මධ්‍ය වාමාංශික සමාජයීය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත්තේය. වාමාංශික පක්ෂය මැතිවරණය ජයගත්තේ සුළුතර සංඛ්‍යාවක් විම කැපී පෙනේ. එබැවින් සභාග රජයක් පිහිටුවීමට ඔවුන්ට සිදුවනු ඇත. ජයග්‍රාහී පක්ෂයේ චාන්සල්වරයා ලෙස පත්වීමට අපේක්ෂා කරන ඕල්ෆ් ෂෝල්ස් හරිත පක්ෂය සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ එක්ව හවුල් රජයක් පිහිටුවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
ජර්මනියේ ෆෙඩරල් මැතිවරණය පසුගිය ඉරිදා පැවැත් වූයේ එරට පාර්ලිමේන්තුවට නව නියෝජිතයන් පත් කරගැනීමට මෙන්ම නව චාන්සල්වරයකු පත් කරගැනීම වෙනුවෙනි. ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමට තීරණය කළ බැවින් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර, ඒ වෙනුවට ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් 60 හැවිරිදි අර්මින් ලැස්චෙට් එම පක්ෂයේ නව නායකයා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු නව චාන්සල්වරයා ලෙසත් පත්වීමට බලා සිටි අතර, අවසානයේ දෙදෙනාගේම බලාපොරොත්තු බිඳ වැටිණි. ඒ සමඟම ක්‍රිස්තියානි සමාජයීය සංගමය හා සන්ධානගතව මර්කල්ගේ පක්ෂය පිහිටුවා ගත් යුනියන් හවුලේ වසර 16ක පාලනය බලයත් බිඳ වැටිණි.
එස්ඩීපී නමින් හඳුන්වනු ලබන ජර්මනියේ නව පාලන පක්ෂය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 25.7% ප්‍රතිශතයක් ලැබූ අතර, හිටපු චාන්සල්වරියගේ යුනියන් හවුල ලැබුවේ ඡන්ද 24.1%ක ප්‍රතිශතයක් පමණි. මීට අමතරව ජර්මනියේ තුන්වැනි බලවේගය බවට පත්ව සිටි හරිත පක්ෂය ඉතිහාසයේ පළමුවරට ඡන්ද 14.8%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් සභාග රජයක් පිහිටුවන තුරු දැනට බලයේ සිටින චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් එළැඹෙන නත්තල් සමය දක්වා බලයේ රැඳී සිටිනු ඇතැයි බව විචාරකයෝ පෙන්වා දෙති. 2017 වසරේදී ජර්මනියේ මෙවැනි හවුල් රජයක් පිහිටුවීමට මාස පහකට වැඩි කාලයක් ගත වී තිබිණි. අතිශය ජනප්‍රිය නායිකාවක වන මර්කල් ලොව ප්‍රබලම නායිකාව ලෙස දස වරක් ෆෝබ්ස් සඟරාව විසින් නම් කළ තිබිණි. එහෙත් ඇගෙ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කළ අර්මින් ලැස්චෙට් ඇය තරම් ජනතා ආකර්ශණය දිනා ගැනීමට අසමත් වූවද තියුණු සටනක නිරතවීම කැපී පෙනේ.
මෙවර මැතිවරණයේ දී එස්පීඩී පක්ෂය ඡන්ද එක්කෝටි විසිලක්ෂයක් දිනාගනිමින් ආසන 206ක් දිනාගත් අතර, සීඩීයූ පක්ෂය ඡන්ද එක්කෝටි දොළොස් ලක්ෂයක් දිනාගනිමින් ආසන 196ක් දිනාගත්තේ ය. ඡන්ද හැට අට ලක්ෂයක් දිනූ හරිත පක්ෂයට ආසන 118ක් හිමි වූ අතර, ක්‍රිස්ටියන් ලින්ඩ්නර් නායිකාව ලෙස කටයුතු කරන එෆ්ඩීපී පක්ෂය ඡන්ද ලක්ෂ පනස් තුනක් දිනාගනිමින් ආසන 92 ක දිනාගත්තේ ය. යුරෝපයේ ප්‍රබලම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියට නායකත්වය ලබා දෙන මීළඟ චාන්සලර්වරයා ඉදිරි වසර 4ක කාලය පාලනය කරන ආකාරය සමස්ත යුරෝපයටම ඉතා වැදගත් වනු ඇත.