සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ඊයේට වසර 21ක් සම්පූර්ණ වූ අතර, දිනේෂ් ප්‍රියන්ත පැරාලිම්පික් රන් පදක්කම දිනා හෙටට මාසයක් සපිරෙයි.
වසර 2000දී පැවැති සිඩ්නි ඔලිම්පික් උලෙළේදී ලක්මාතාව ඉදිරියේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සටහන් කළ සුසන්තිකාට පසුව එම ඉසව්වේ රිදී පදක්කම පිරිනැමිණි. ඒ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මේරියන් ජොන්ස් තහනම් උත්තේජක චෝදනාවලට වැරදිකරු වීමෙන් සුසන්තිකා උසස්වීමකට වාසනාව ලද බැවිනි.
සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී සුසන්තිකා දැක්වූ දක්ෂතාව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම එකම බලාපොරොත්තුවක් හා එකම අරමුණක් වෙනුවෙන් යොමු වූ දවසක් විය. සුසන්තිකා දැක්වූ දක්ෂතාව මෙරට ක්‍රීඩකයකු මලල ක්‍රීඩාවෙන් ලත් ඉහළතම ගෞරවයක් සේ සටහන් විය. එදින ශ්‍රී ලංකා ධජය සිඩ්නි ක්‍රීඩාංගණයේ ඉහළ අහසට එසවුණේ ශ්‍රී ලංකාවේ අභිමානය මුළු මහත් ලෝකයටම හඬගා කියමිනි. සුසන්තිකාගේ අන්තර්ජාතික ජයග්‍රහණය සැමරීමට ජාති ආගම් කුල භේදයකින් තොරව ශ්‍රී ලාංකියෝ එකාවන්ව පෙළගැසී සිටියහ. එදා ඇය දිනා දුන්නේ අදටත් අප සමරන ශ්‍රී ලාංකික ක්‍රීඩාවේ ජාතික අභිමානය බව සිහිපත් කළ යුතුය.
සෑම ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් නිමා වීමත් සමඟ එම ඔලිම්පික් ක්‍රීඩා පහසුකම් යටතේ පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීම ශ්‍රී ලංකාවට හිමි කර දුන් විශාල ගෞරවයකි.
ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී දිනේෂ් ප්‍රියන්ත දිනාගත් රන් පදක්කම ඔහුට හිමි කරද්දී ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වූ අතර එය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා පිටියක වාදනය වූ ඓතිහාසිගත මුල්ම අවස්ථාව විය.