“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence – Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම (Art Movies (Pvt) Ltd) විසින් පවරන ලද CHC/07/2026/IP අංක දරණ නඩුවට අදාළව බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් පසුගිය
2026 පෙබරවාරි 17 වන දින අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් කණිෂ්ක මාලියද්ද ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.
නඩුවේ 1, 2, 3, 5 සහ 6 වන විත්තිකරුවන් වන සුරේෂ් කණිෂ්ක මාලියද්ද, උරේශා රවිහාරි, නෙලුක විජේසූරිය, ජ/පුර ඇලුමිනි ඔස්ට්‍රේලියා සහ ලක් ඉවෙන්ට්ස් ඕස්ට්‍රේලියා යන පාර්ශවයන් වෙත නඩු විභාගය අවසන් වන තෙක් තහනම් නියෝගයක් නිකුත් කෙරිණි, ඒ අනුව “රිදම් ඔෆ් ද ගිටාර්” ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ ආර්ථික අයිතීන් භාවිතා කිරීම හෝ එහි අඩංගු පැමිණිල්ලේ සඳහන් ගීත වල අනුවර්ථනය කරන ලද සංස්කරණයන් අවසරයකින් තොරව ඔවුන්ට භාවිතා කිරීම තහනම් වේ. තවද,සමාගමේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කරමින් “සඳ එක් දිනක්” , “සිහින ලොවක්”, “Rhythm of the Guitar” සහ “Rhythm of Love” වැනි චිත්‍රපටයට සම්බන්ධ නාමයන් යටතේ ප්‍රසංග පැවැත්වීම,ප්‍රචාරයන කිරීම හෝ මහජනයාට කරුණු ඉදිරිපත් කිරීම අධිකරණය විසින් වළක්වා ඇත.
මීට අමතරව 2026 පෙබරවාරි 21 වන දින බුන්ජිල් ප්ලේස් (Bunjil place), මෙල්බන්, ඕස්ට්‍රේලියා හී පැවැත්වීමට නියමිත ප්‍රසංගය පැවැත්වීම සඳහා වූ ඉල්ලීමක් සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර ඇති වූ එකඟතාවයක් මත කොන්දේසි සහිත අවසරයක් හිමිවිය. ඒ අනුව අදාළ ප්‍රසංගය් චිත්‍රපටයට හෝ එහි සංගීත නිර්මාණ වලට සමබන්ධ බවට කිසිදු ප්‍රචාරණයක් සිදු නොකළ යුතුය.විවාදයට තුඩු දී ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ හෝ ගීත වල අනුවර්තන ඉදිරිපත් නොකළ යුතුය සහ 5 වන විත්තිකරු විසින් මෙම ප්‍රසංගය සහ “රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය අතර කිසිදු සමබන්ධයක් නොමැති බවට පැහැදි කිරීමක් ප්‍රසිද්ධ කළ යුතුය.
විශේෂිත කරුණක් වන්නේ 21 වන් දින පැවැත්වීමට නියමිත ඉහත ප්‍රසංගයේ අමතර කොන්දේසියක් ලෙස මහනුවර මහ රෝහලේ පිළිකා ඒකකකය වෙත රුපියල් 1,000,000 ක (මිලියනයක) මුදලක් 2026 මාර්තු 21 දින හෝ එදිනට පෙර ගෙවන ලෙස විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව සඳහා ආර්ට් මූවීස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සමඟ සමිත් ප්‍රනාන්දු, ශෙහානි අල්විස් සහ නාමික් නෆාත් යන නීතිඥවරු පෙනී සිටි අතර, උපදෙස් ලබා දෙන ලද්දේ නීතිඥ තුශාරා සමන්පාලි අමරසිරි මහත්මිය විසිනි. නඩුවේ අවසන් තීන්දුව ලැබන තෙක් මෙම අතුරුතහම් නියෝගය බලපැවැත්වේ.


