ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා හා ආසියා පාපන්දු සම්මේලනයේ සභාපති ශෙයික් සල්මාන් බින් කලීෆා මහතා අතර හමුවක් ඊයේ බහරේනයේ පිහිටි කලීෆා නිල නිවසේදී පැවැත්විණි. ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ආරාධනාවක් අනුව දෙරට අතර පාපන්දු සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් මේ හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙහිදී ලංකා පාපන්දුවෙහි ඉදිරි මාවත සහ ඔහුගේ දැක්ම පිළිබඳ ආසියා පාපන්දු සංගමයේ සභාපති කලීෆා මහතා දැනුවත් කළේය. දෙදෙනා අතර සාකච්ඡාවේදී ආසියා කලාපීය ප්‍රගතිය ගැන හා පාපන්දු ක්‍රීඩාවේ ආසියා කලාපීය ප්‍රගතිය හා සම්බන්ධ කරුණු බොහොමයක් සාකච්ඡාට ලක් කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ පාපන්දුව වෙනුවෙන් ඕනෑම මොහොතක තමාගේ උපරිම සහයෝගය ලබාදෙන බවත්, ශ්‍රි ලංකාව තුල පාපන්දුව දියුණු කිරීමට සභාපතිවරයා දක්වන උනන්දුව අගය කරන බවත් ආසියා පාපන්දු සම්මේලනයේ සභාපති ශෙයික් සල්මාන් බින් කලීෆා මහතා පැවැසීය.
මේ නිල සංචාරය සැමරීම සඳහා ආසියා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අතර සමරු තිලිණ ද හුවමාරු විය.


