2027 වසරේ පාසල් සිසුන්ට සහ පිරිවෙන් සිසුන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය
2027 වසර සඳහා තෝරාගන්නා පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් මෙන්ම සීල මාතාවන්ට පාවහන් යුගලයක් බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 වසරේ මෙම වැඩසටහන ක්‍රමවේද දෙකක් යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 දෙනෙකු ආවරණය කර ඇත. එම අත්දැකීම් සහ ප්‍රගතිය පදනම් කරගෙන 2027 වසර සඳහා වන වැඩසටහන 2026 වසරේ තෙවන පාසල් වාරය අවසන් වීමට පෙර නිම කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසල් වෙතම පාවහන් රැගෙනවිත් ලබාදීමේ ක්‍රමය අනුගමනය කෙරේ.
එසේම, මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව පළාත්වල තෝරාගන්නා පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීල මාතාවන්ට වෙළෙඳපොළෙන් පාවහන් මිලදී ගැනීම සඳහා එක් අයෙකුට රුපියල් 3,000ක් වටිනා තිළිණ පතක් ලබාදීමට නියමිතය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව, මෙම වැඩසටහන ඉහත ක්‍රමවේද අනුව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.


