2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය
ලෝකයේ ප්රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිව ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරමින්, 2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්ව තිබේ.
ජාත්‍යන්තර සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් නිකුත් කළ 2026 වසරේ ලොව හොඳම දූපත් 50 (The 50 Best Islands in the World) ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේ හත්වැනි සංස්කරණය සඳහා මාධ්‍ය ආවරණය, සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය, සංචාරක ප්රවණතා සහ සංස්කාරක මණ්ඩලයේ ඇගයීම් ඇතුළු කරුණු පදනම් කරගෙන ඇති අතර, ඒ අනුව ලොව විශිෂ්ටතම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙම ජයග්‍රහණය ලබා ගැනීමේදී ප්‍රංශ පොලිනීසියාවේ මෝරියා (Moʻorea), යේමනයේ සොකෝත්‍රා (Socotra), පෘතුගාලයේ මැඩෙයිරා (Madeira) සහ ඉක්වදෝරයේ ගැලපගෝස් (Galápagos) වැනි ජාත්‍යන්තර ප්‍රසිද්ධ දූපත් අභිබවා යාමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
ශ්‍රී ලංකාවට මෙම ගෞරවය හිමිවීමට බලපා ඇති ප්‍රධාන සාධක අතර සැතපුම් 833ක් පුරා විහිදී ඇති සුන්දර වෙරළ තීරය, මීදුමෙන් වැසුණු මධ්‍යම කඳුකරය හා සශ්‍රීක තේ වතු, පොහොසත් සංස්කෘතික උරුමය, සුවිශේෂී ජෛව විවිධත්වය, වනජීවී සංචාර සඳහා ජනප්‍රිය යාල ජාතික වනෝද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය පර්වත බලකොටුව විශේෂයෙන් සඳහන් කර ඇත.
Big 7 Travel ආයතනය පෙන්වා දෙන්නේ ස්වාභාවික සුන්දරත්වය, ඉතිහාසය, වනජීවී සම්පත සහ සංස්කෘතික විවිධත්වය එක්වීම නිසා ශ්‍රී ලංකාව ලොව අනෙකුත් දූපත් ගමනාන්තවලට සමාන නොවන සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබාදෙන බවයි. එමෙන්ම, ප්‍රකට දේශගවේෂක මාර්කෝ පෝලෝ විසින් ශ්‍රී ලංකාව “ලොව ඇති ප්‍රමාණයට සාපේක්ෂව විශිෂ්ටතම දූපත” ලෙස කළ විස්තරයද මෙම ජාත්‍යන්තර ඇගයීම මඟින් යළිත් තහවුරු වන බව සඳහන් කරයි.
2026 වසරේ ලොව හොඳම දූපත් 10 අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, එම ලැයිස්තුවට ප්‍රංශ පොලිනීසියාවේ මෝරියා, යේමනයේ සොකෝත්‍රා, පෘතුගාලයේ මැඩෙයිරා, ඉක්වදෝරයේ ගැලපගෝස්, බහමාස්හි ග්‍රේට් එක්සිවුමා, සීෂෙල්ස්, අයර්ලන්තයේ අචිල් දූපත, තායිලන්තයේ කෝ ලයිප් සහ ග්‍රීසියේ මිලොස් දූපතද ඇතුළත් වී තිබේ.


