බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට
පොලිස් කොස්තාපල්වරයෙකුට ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කර තිබේ.
අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව, සිද්ධියට මුහුණ දුන් පොලිස් කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරිය අවසන් කිරීමෙන් පසු රාත්‍රී විවේකය සඳහා පොලිස් බට නිවාසයේ රැඳී සිට ඇත.
එම අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා සිය නිල නිවසේ සිට අලුයම 1.03ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ.
හදිසි රාජකාරි අවශ්‍යතාවයක් විය හැකි බවට සිතා කොස්තාපල්වරයා එම නිල නිවස වෙත ගොස් ඇති අතර, එහිදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවක වාඩි වී සිට ඇති බවත්, ටීපෝව මත මත්පැන් බෝතලයක් තිබී ඇති බවත් සඳහන් වී ඇත.
ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත කොස්තාපල්වරයාද මත්පැන් ස්වල්පයක් පානය කර ඇති බවත්, අනතුරුව ඔහුට සෝපාවේ වාඩිවන ලෙස ස්ථානාධිපතිවරයා පවසා ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.
එහිදී සැකකාර ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා ඇති අතර, පපු ප්‍රදේශය සිප වැළඳගෙන පසුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ක්‍රියාව හේතුවෙන් බියට පත් වූ කොස්තාපල්වරයා එම ස්ථානයෙන් ඉවත්ව නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සිය ළඟම ඥාතීන් සහ උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළ බවත්, ඒ පිළිබඳව කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියකටද දැනුම් දුන් බවත් පැමිණිල්ලේ සඳහන් වී ඇත.
මෙම සිදුවීමෙන් දැඩි මානසික පීඩනයකට පත්වූ බවත්, පසුව නිවස වෙත ගිය බවත් වින්දිත නිලධාරියා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රචාරය වීමෙන් අනතුරුව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම සහ සිද්ධියට අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමද සිදුකර ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.
වින්දිත කොස්තාපල්වරයා පසුගිය මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මානසික වෛද්‍ය සායනයකට සහ සමාජ රෝග වෛද්‍ය සායනයකට යොමු කර තිබේ.
එම වෛද්‍ය වාර්තාව අනුව, වින්දිත නිලධාරියා ලබාදුන් ප්‍රකාශය බැහැර කළ නොහැකි බවත්, වෙනත් විශේෂ නිරීක්ෂණ නොමැති බවත් සඳහන් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම සිද්ධියට අදාළ දිනය ආවරණය වන පරිදි වින්දිත නිලධාරියාගේ දුරකථනය, ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථනය සහ රාජකාරී දුරකථනය සම්බන්ධයෙන් ලබාගත් විශ්ලේෂණ වාර්තා මගින් දුරකථන සම්බන්ධතා පැවැත්වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
සැකකරු වෙනුවෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද, පසුව එම ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් පොලිසිය දුරකථන විශ්ලේෂණ වාර්තා සහ අධිකරණ වෛද්‍ය වාර්තා ඇතුළු කරුණු අධිකරණයේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.


