මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් තාවකාලිකව වෙනත් ස්ථාන වෙත මාරු කිරීමේ තීරණයක්
මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් එහි ගොඩනැගිලි හා පහසුකම් දැඩි ලෙස හානි වී ඇති බවත්, එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස සැලකෙන බැවින් තවදුරටත් රැඳවියන් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානය තුළ ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදීම, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ විමර්ශන අවසන් වූ පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් එහි රඳවා සිටි රැඳවියන් බහුතරයක් වෙනත් බන්ධනාගාර වෙත තාවකාලිකව මාරු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක බන්ධනාගාරවල පවතින රැඳවියන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ සුබසාධනය සැලකිල්ලට ගනිමින්, පවතින බන්ධනාගාරවලට අමතරව සුදුසු වෙනත් පරිශ්‍රයන් කිහිපයක් තාවකාලික පදනමින් බන්ධනාගාර කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍යතාවයක් මතුව ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් වන තෙක්, බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර කාර්යයන් සඳහා “මහමෝදර” සහ “පැරණි බෝගම්බර” පරිශ්‍රයන් තාවකාලික බන්ධනාගාර ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කර තිබේ.


