ශ්‍රෝණියෙන් බද්ධව සිටි නිවුන් දරුවන් දෙදෙනා සාර්ථකව වෙන් කෙරේ – ලොව ප්‍රථම වරට සිදු කළ සැත්කමක් බවට වාර්තා වෙයි
ශ්‍රෝණි ප්‍රදේශයෙන් එකට බද්ධව උපත ලැබූ ලිනුලි සහ ලිතුලි නමැති නිවුන් දරුවන් දෙදෙනා සාර්ථකව වෙන් කිරීමේ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් දරුවෙකුට පමණක් තිබූ වකුගඩු දෙකෙන් එකක් ඉවත් කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමයි. මෙවැනි ආකාරයේ සැත්කමක් ලොව ප්‍රථම වරට සිදුකර ඇති බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මවකට 2021 වසරේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිසේරියන් සැත්කමක් මගින් මෙම බද්ධ නිවුන් දරුවන් බිහිකර තිබිණි.
පසුව 2024 වසරේදී දරුවන්ගේ වකුගඩු සම්බන්ධ ශල්‍යකර්මය සිදුකර ඇති අතර, වකුගඩු ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව පසුගිය ජූනි 10 වැනිදා දරුවන් වෙන් කිරීමේ ප්‍රධාන සැත්කම සිදුකර තිබේ.
සැත්කමෙන් අනතුරුව දරුවන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකි වනු ඇති බව මාතුල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ළමා වකුගඩු බද්ධ කිරීම් 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බවත්, එම අත්දැකීම් මෙම සංකීර්ණ සැත්කම සාර්ථක කර ගැනීමට විශාල සහායක් වූ බවත්ය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක මහත්මිය පැවසුවේ, සැත්කම සඳහා දරුවන් දෙදෙනා පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා දීර්ඝ වේලාවක් නිර්වින්දනය යටතේ තබාගෙන සිටි බවයි.
දරුවන්ගේ හෘදය, පෙනහළු, රුධිර සංසරණ පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයේ පැවතීම සැත්කම සාර්ථකව සිදු කිරීමට වැදගත් හේතුවක් වූ බවද ඇය සඳහන් කළාය.
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මහතා සඳහන් කළේ, දරුවන් දෙදෙනා සම්බන්ධ වී තිබූ ශ්‍රෝණි මේඛලාවේ අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවත්, ඔවුන්ගේ පාද හරස් අතට පිහිටා තිබූ බවත්ය.
මෙම සංකීර්ණ ශල්‍යකර්මයට විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු ඇතුළු වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 30 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.
දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන අතර, ඉදිරියේදී ඔවුන්ට තවත් ශල්‍යකර්ම කිහිපයකට මුහුණදීමට සිදුවනු ඇති බව මාතුල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පීඨාධිපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නානායක්කාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ සේනක නවනැලිය සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කවිෂා දිසානායක මහත්මියද අදහස් පළ කළහ.


