මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, ඊයේ (13) වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 12 වැනිදා වන විට වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් වූ අතර, ඒ අනුව ඊයේ දිනයේ පමණක් නව රෝගීන් 1,279 දෙනෙකු හඳුනාගෙන ඇත.
දත්ත අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 36,795කි.
බස්නාහිර පළාත තුළ වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 14,464ක් ලෙස දැක්වේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 14,004ක් වාර්තා වී තිබේ.
මේ අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇත.
වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර, එම මාසයේ රෝගීන් 21,538ක් වාර්තා වී තිබේ.


