ස්වීඩන් තානාපති සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අතර කර්මාන්ත ක්ෂේත්රය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති Jan Thesleff මහතා සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නවීන තාක්ෂණය ඔස්සේ සංවර්ධනය කිරීම සහ දෙරට අතර ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු කර තිබෙනවා.
විදේශීය ආයෝජකයින් සඳහා පහසුකම් සලසන, විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම ආයෝජන පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණා.
එමෙන්ම පරිසර හිතකාමී නවීන තාක්ෂණික ක්‍රමවේද සහ ජාත්‍යන්තර හරිත සංකල්ප දේශීය නිෂ්පාදන ක්ෂේත්රයට හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබුණා.
මෙම සාකච්ඡාව සඳහා කොළඹ ස්වීඩන් කොන්සල් ජනරාල් සංජය කුලතුංග මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.


