සෞඛ්‍ය කළමනාකරණ සහකාර 228 දෙනෙකුට අද පත්වීම්
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) තනතුරු සඳහා තෝරාගත් 228 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අද (16) පෙරවරු 10.30ට ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පැවැත්වීමට නියමිත අතර, එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ දිගු කාලයක් පුරා පැවති පුරප්පාඩු පිරවීමේ වැඩසටහන යටතේ, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) ඇතුළු තනතුරු රැසක් සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරමින් පවතී. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකයන් 627 දෙනෙකුට පසුගිය 4 වැනිදා පත්වීම් ප්රදානය කර තිබුණි.
ඉදිරියේදී තවත් සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් ලබාදීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව ජූලි 18 වැනිදා සෞඛ්‍ය කාර්ය සහායකයන් 600 දෙනෙකුටත්, අගෝස්තු 1 වැනිදා තවත් 762 දෙනෙකුටත් පත්වීම් ලබාදීමට නියමිතය.
මීට අමතරව, ඉදිරි සති දෙක ඇතුළත ඩෙංගු මර්දන සහායකයන් 295 දෙනෙකු සහ සුළු සේවා පාලකයන් (Overseers) 121 දෙනෙකු සඳහාද පත්වීම් ප්රදානය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ රෝගී සත්කාර හා රෝහල් පරිපාලන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම බඳවා ගැනීම් සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.


