දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර 52ක් ආවරණය කරමින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවති කල් ඉකුත් වූ වෛද්‍ය මෙවලම්, රසායනික ද්‍රව්‍ය සහ රසායනාගාර උපකරණ රැසක් අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර කිහිපයක්ද එහිදී පරීක්ෂාවට ලක් කර තිබේ. විමර්ශනවලදී රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අඩුපාඩු රැසක් හඳුනාගෙන ඇත.
කොළඹ, මීගමුව, අම්බලන්ගොඩ, රන්න, අම්බලන්තොට, අකුරැස්ස, ලග්ගල, පොල්ගහවෙල, ඉබ්බාගමුව, මඩකලපුව, පේරාදෙණිය, යාපනය, මුලතිව්, කිලිනොච්චි, රත්නපුර සහ පොළොන්නරුව ඇතුළු නගර රැසක පිහිටි පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් මෙම භාවිතයට නුසුදුසු ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
පරීක්ෂණවලදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණ කට්ටල, රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝගය හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය වර්ණක ද්‍රාවණ ඇතුළු ද්‍රව්‍ය රැසක් කල් ඉකුත් වූ හෝ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු සහිත තත්ත්වයේ තිබූ බව අනාවරණය වී ඇත.
එක් පෞද්ගලික රසායනාගාරයකින් කල් ඉකුත්වී මාස දහයකට පසුවත් රුධිර පරීක්ෂණ සඳහා භාවිත කරන සරල නළ කට්ටල කිහිපයක් සොයාගෙන තිබූ අතර, පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා භාවිත කරන කල් ඉකුත් වූ සායනික කට්ටලද එහිදී හමුවී තිබේ. මීට අමතරව මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා තීරු පරීක්ෂණ කට්ටල සහ ග්ලූකෝස් ද්‍රාවණ ඇතුළු තවත් ද්‍රව්‍ය කිහිපයක්ද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අඩුපාඩු සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.


