අස්වැසුම ප්‍රතිලාභීන් ඉලක්ක කර ගනිමින් වංචාසහගත ලෙස මුදල් ලබාගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ දුරකථන අංක භාවිත කරමින් පුද්ගලයින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා තමන් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවට තොරතුරු ලැබී තිබේ.
මෙම ඇමතුම්වලදී ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන බව හෝ වෙනත් හේතු ඉදිරිපත් කරමින්, එම සේවාව සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින අවස්ථා පිළිබඳව ද වාර්තා වී ඇති බව මණ්ඩලය සඳහන් කරයි.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය අවධාරණය කරන්නේ මෙවැනි දුරකථන ඇමතුම් හෝ මුදල් ඉල්ලීම් කිසිවක් තම ආයතනයේ අනුදැනුමක් හෝ අනුමැතියක් යටතේ සිදු නොවන බවයි. ඒ අනුව, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වහාම අදාළ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත්, ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී ඇත.
එමෙන්ම, මෙවැනි වංචාසහගත දුරකථන ඇමතුම් දැනටමත් ලැබී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ට, තම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශයට අයත් අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


