අපරාධ චෝදනා එල්ල වී ඇති පුබුදුමුණු විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නොහොත් රත්ගම විදුරට සම්බන්ධ බවට සැලකෙන රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුතු දේපොළ කිහිපයක් තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ එම දේපොළ රත්ගම විදුරගේ මවගේ නමින් මිලදීගෙන ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
තහනමට ලක් කළ දේපොළ අතර රත්ගම දෙවෙනිගොඩ ප්‍රදේශයේ පර්චස් 13.72ක භූමියක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා තෙමහල් ගොඩනැගිල්ලක්ද ඇතුළත් වේ.
මීට අමතරව, එම ප්‍රදේශයේම පිහිටි පර්චස් 9.10ක භූමියක අඩක් නිම කළ තෙමහල් ගොඩනැගිල්ලක් සහිත රුපියල් ලක්ෂ 450ක් පමණ වටිනා දේපොළක්, පර්චස් 12.33ක රුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා ඉඩමක් සහ තවත් රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා ඉඩමක්ද තහනම් කළ වත්කම් අතරට ඇතුළත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


