චීනයේ පාසල් සිසුන්ට ඉංග්‍රීසි ඇතුළු නොයෙක් විදේශ භාෂා ඉගැන්වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන උපකාරක පන්ති සඳහා නීතිරීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. චීන දරුවන් අතර ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එරට රජයේ අධ්‍යාපනික ප්‍රතිපත්ති සංශෝධනය කරමින් විදෙස් භාෂා අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගෙන ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ.
අමෙරිකාව ඇතුළු විවිධ රටවල සිට චීනයේ සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ විදෙස් භාෂා ඉගෙන ගැනීමේ උපකාරක පන්ති විශාල ප්‍රමාණයක් පැවැත්වෙන අතර, පසුගිය අගෝස්තු මාසයේදී එරට රජය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ එම උපකාරක අධ්‍යාපන ආයතන සඳහා විදේශිය ගුරුවරුන් බඳවා ගැනීම තහනම් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම සති අන්තයේ පන්ති තහනම් කිරීමට ද පියවර ගැනීම නිසා චීන දරුවන්ට බටහිර සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇතැයි උපකාරක පන්ති ගුරුවරු චෝදනා කරති. බාහිර පන්ති මර්දනය කිරීමෙන් එරට දරුවන්ට විදේශිය රටවල වැඩි දුර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන් ද අහිමිවනු ඇතැයි උපකාරක පන්ති ගුරුවරුන්ගේ අදහස වී තිබේ.