28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනට චමරිගේ නායකත්වයෙන් කාන්තා පිල නම් කෙරේ

2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනට චමරිගේ නායකත්වයෙන් කාන්තා පිල නම් කෙරේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

නවක ක්‍රීඩිකාවෝ 3ක් ඇතුළට

වසර 2022 මාර්තුවේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සිම්බාබ්වේහි පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නවක ක්‍රීඩිකාවෝ තිදෙනක් එක් වෙති. ප්‍රවීණ පිතිකාරිනි චමරි අතපත්තුගේ නායකත්වයෙන් නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නවක ක්‍රීඩිකාවන් ලෙස රජ්ගම දේවපතිරාජ විදුහලේ 19 හැවිරිදි සචිනි නිසංසලා, එම විදුහලෙන් බිහි වූ තවත් විශිෂ්ට ක්‍රීඩිකාවක වන 21 හැවිරිදි ඉමේෂා දුලානි සමඟ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ 16 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ඇතුළත් වෙති. මේ තිදෙනාම සීනිගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවන් විම විශේෂත්වයකි. 

16 හැවිරිදි විශ්මි ගුණරත්න මෙරට අන්තර් සමාජ කාන්තා ‘ඒ‘ කාණ්ඩයේ තරග ඉතිහාසයේ ශතකයක් රැස් කළ ලාබාලතම පිතිකාරිනිය වේ. ඇය මේ වසරේ මුල් භාගයේදී චිලව් මේරියන්ස් පිලට එරෙහිව පන්දු 117කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 112ක් රැස් කරමින් එම වාර්තාව තැබුවාය. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවට ද එක සේ දස්කම් දක්වන විශ්මි පාසල් මලල ක්‍රීඩා පිටියේ කෙටිදුර ධාවන ශූරියක ලෙස කැපී පෙනෙන දස්කම් දක්වන්නීය.

වසර 2019 අවුරුදු 19න් පහළ ආසියා කුසලාන නැගී එන කණ්ඩායම් අතර පැවැති තරගාවලියේදී විශිෂ්ට දස්කම් පෑ සචිනි නිසංසලා වමත් චයිනමන් පන්දු යවන්නියක වන අතර, දකුණත් පිටදඟ පන්දු යවන්නියක ලෙසත්, පිතිකාරිනියක ලෙසත් දස්කම් අතර සිටින ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා යටතේ දඹුල්ලේදී නේවාසික පුහුණුවක් ලැබූ ක්‍රීඩිකාවන් 27 දෙනකු අතරින් තෝරා ගත් 17 දෙනකුගෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ප්‍රවීණ ක්‍රීඩිකාවන් ලෙස ඉනෝකා රණවීර, ඕෂධී රණසිංහ, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා, ප්‍රසාදිනී වීරක්කොඩි, අමා කාංචනා, සුගන්ධිකා කුමාරි ද ඇතුළත් වන අතර, කණ්ඩායමේ උපනායකත්වය 23 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවීට හිමි වී තිබේ. මීට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් 5 දෙනකු ද නම් කර තිබේ.

ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් පිල, බංග්ලාදේශය, අයර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව්ගිනියා, අමෙරිකාව, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ක්‍රීඩා කරන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් මේ මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා කොවිඩ් මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සිදු කිරිමට නියමිතය. ලබන නොවැම්බර් මස 21 දා සිටි දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නොවැම්බර් 15 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේය:

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උපනායිකා), ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඕෂධී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවෝ – උමේෂා තිමේෂණී, කාව්‍යා කාවින්දි, මධූෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ළිහිණි අප්සරා.