ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති
ආණ්ඩුවට මිල පාලනය කරන්න හෝ රට පාලනය කරන්න නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“ආණ්ඩුව කිරි පිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත් කරමින් කිරි පිටි, ගෑස් පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කර ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවට බර පටවන එකයි. පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරා ගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාව. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත් කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රු. 140කින් වැඩි කර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩි කරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1200කින් විතර වැඩි කරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බෑ. රට පාලනය කරන්නත් බෑ..”