විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි සහ අවසන් පුහුණු තරගය අද (14) පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟින් අබුඩාබියේ ටොලේරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතය.
අන්තර්ජාතික තරග බිමේ මේ දෙපිල එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි. එබැවින් මේ කණ්ඩායම් දෙකටම ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානමක් ලෙස කණ්ඩායමේ දෙකේ සංයුතිය සකසා ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
මෙවර තරගාවලියේ සුපිරි 12 අතරට එක් වීමේ පළමු වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, පැපුවා නිව්ගිනියාව තරග බිමට පිවිසෙන්නේ ‘බී’ කාණ්ඩයෙනි.
අසාද් වාලාගේ නායකත්වයෙන් තරග වදින පැපුවා නිව්ගිනියා කණ්ඩායම එක් වන දෙවැනි පුහුණු තරගය මෙය වන අතර, අයර්ලන්තය සමඟ පැවැති පළමු පුහුණු තරගය ඔවුන් කඩුලු 8කින් පරාජයට පත් විය.
මේ අතර, අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ සටන්කාමී ක්‍රීඩා විලාශය හේතුවෙන් පෙරේදා පැවැති පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී තිබියදී ජය අත් කර ගත්තේ පන්දු 6ක් ඉතිරි කර ගනිමිනි.
මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම හේතුවෙන් ලකුණු 75ක් වන විට කඩුලු 6ක් අහිමිව තිබූ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියේ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න ලකුණු 73ක නොබිඳුණු සබඳතාවක් සමඟිනි. අවසන් ඕවර 5දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 53ක් අවශ්‍යව තිබූ අතර, අවිශ්ක සහ චාමික පහසුවෙන්ම එම ඉලක්කය පසු කළේ ඕවර 4ක් පමණක් වැය කරමිනි.
අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක පන්දු 42කදී නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 2ක් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. ඔහුට අනගි සහායක් දුන් චාමික හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් පන්දු 25කින් නොදැවී ලකුණු 29ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් ජනිත් (4) සහ පැතුම් නිශ්ශංක (15) ලකුණු 29ක් තුළ දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් (13), වනිඳු හසරංග (7), භානුක රාජපක්ෂ (0) සහ නායක දසුන් ශානක (7) ද අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් කඩුලු 2ක් දවා ගත්තේය. පන්දු 26කින් ලකුණු 34ක් රැස් කළ සෞම්‍ය සර්කාර් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. පන්දු යැවීමේදී චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවාගත් අතර, දසුන් ශානක, වනිඳු හසරංග, ළහිරු කුමාර සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිඳ දැමූහ.