― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2ක්

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2ක්

රොෂාන් – සාරංගි සහ කෞශල්‍යාත් වාර්තාවලට පනිති

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි අදිරේදී නව ශ්‍රී ලංකා වාර්තා 2ක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න සමත් වූවාය.

තරගාවලියේ පළමු දිනයේදී මීටර් 1500 ශ්‍රී ලංකා වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගත් ගයන්තිකා ඊයේ මීටර් 5000 ඉසව්වේ පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට ද සමත් වූවාය. මීටර් 1500 ඉසව්ව විනාඩි 4:09.12කින් නිම කළ ගයන්තිකා හමුවේ බිඳ වැටුණේ නිමාලි ලියනාරච්චි 2019 වසරේ විනාඩි 4:15.86කින් තබා තිබූ වාර්තාවයි.

ඊයේ මීටර් 5000 ඉසව්වට එක් වූ ගයන්තිකා එම ඉසව්ව විනාඩි 15:55.84කින් නිම කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වූයේ හිරුණි විජේරත්න විසින් පසුගිය වසරේ අමෙරිකාවේදී විනාඩි 16:17.51කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමිනි. ගයන්තිකාගේ දක්ෂතාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක මිනිත්තු 16ට අඩුවෙන් මේ ඉසව්ව නිම කළ පළමු අවස්ථාව ලෙස ද සටහන් විය.

මේ අතර, තරගාවලියේ පළමු දිනයේදී වසර 24ක් පැරණි පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට යුද හමුදාවේ රොෂාන් ධම්මික අබේසිංහ සමත් විය. ඔහු විසින් මේ වාර්තාව එකම දිනයකදී දෙවරක් අලුත් කිරීම විශේෂත්වයක් විය. මීටර් 110 කඩුලු පැනීමේ මූලික වටයේදී තත්පර 13.97ක කාලයක් සමඟින් 1997 වසරේ මැලේසියාවේදී මහේෂ් පෙරේරා තත්පර 14කින් තබා තිබූ වාර්තාව බිඳ දැමූ රොෂාන් එම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 13.89ක කාලයක් සමඟින් ඔහු විසින්ම පෙරවරුවේ පිහිටුවූ වාර්තාව අලුත් කළේය.

කාන්තා දුර පැනීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාරංගි සිල්වා ද නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ මීටර් 6.48ක දක්ෂතාවක් සමඟිනි. ඇය ඊයේ බිඳ දැම්මේ ඇය විසින්ම පසුගිය ජූනි මාසයේ තුර්කියේදී මීටර් 6.44කින් තබා තිබූ වාර්තාවය. යුද හමුදාවේම කෞශල්‍යා පෙරේරා රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 3.57ක උසක් සටහන් කරමින් ඊයේ බිඳ දැම්මේ ඇය විසින්ම පසුගිය වසරේ ජාතික ශූරතාවලියේදී පිහිටුවා තිබූ මීටර් 3.56ක වාර්තාවයි.

මේ ශූරතාවලියේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා ජාතික සංචිතයට නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක් කිරීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අපේක්ෂාව වී තිබේ.

ඡායාරූප – ජගත් ඉරෝෂණ

නිරෝෂාන් ප්‍රියංකර