වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවා ද? නැද්ද? යන තීරණය හෙට දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
අදාළ පෙත්සම පිළිබඳව මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය කළා.
මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතියේ ආධිපත්‍යය රටක ව්‍යවස්ථාවේ මූලික පදනම බව සඳහන් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුව මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බව ඔහු සඳහන් කළා.
ජාතික ලැයිස්තුව සදහා පත් කරන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් යැයි පෙන්වා දුන් නාගානන්ද කොඩිතුවක්කු මහතා එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන ලද්දේ 2020 වසරේ මහ මැතිවරණය අවසන් වී මාස ගනනාවකට පසුව බවත් කියා සිටියා.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස මෙන්ම වැඩබලන ජනාධිපති වශයෙන් පත් කිරීමේ තීරණය ද නීතියට පටහැණි බව ඔහු පෙන්වා දුන්නා.
රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි චෝදනා කළා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු මීට පෙරද පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඉකුත් වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම කරුණ මෙම පෙත්සමේ සඳහන් කිරීම පෙත්සම්කරු විසින් වසන් කර ඇතැයි චෝදනා කළා.
ඒ අනුව මෙම පෙත්සම හරහා පෙත්සම්කරු කරුණු වසන් කිරීම හා සත්‍ය විකෘති කිරීම සිදු කොට ඇතැයි ද ඔහු චෝදනා කළා.
එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.