― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආසියා රග්බි තරගමාලාවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි ද?

ආසියා රග්බි තරගමාලාවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි ද?

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එකහමාරකට වඩා වැඩි කාලයක් පුරා දැඩි පසුබෑමකට ලක් වී ඇති මෙරට රග්බි ක්‍රීඩාව යළි පණ ගැන්වීමට නොහැකි වීමෙන් ඉදිරියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගමාලාවට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී යෑමේ අවදානමක් මතු වී ඇතැයි රග්බි ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ව්‍යාප්තියේ අඩුවක් නොවූවද ලොව බොහෝ රටවල රග්බි ක්‍රීඩාව යළි ආරම්භ වී ඇති අතර, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ද එම ක්‍රීඩා ඉසව්වක් ඇතුළත්ව තිබිණි.

මෙරට රග්බි ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙසින් ක්‍රීඩා කවුන්සිලය සහ රග්බි බලධාරීන් සහ අතර සාකච්ඡා පැවැත්වූවද එහි සාර්ථකත්වයක් මෙතෙක් වාර්තා වී නැත.

අන්තර් සමාජ රග්බි තරගාවලියක් පැවැත්වීමට නොහැකි පසුබිමකදී ඉහළ දස්කම් වර්ධනය කරමින් අන්තර්ජාතික තරග බිමට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කිරීමට ක්‍රීඩකයන්ගේ සංචිතයක් ගොඩනැගීමට ද අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පවත්වා තිබුණද එහි ප්‍රගතියක් දක්නට නැති බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

මෙවර ආසියා සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස දකුණු කොරියාවේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීමට ආසියා රග්බි සංගමය තීරණය කළද එම තරගමාලාවේ දෙවැනි හා අවසන් අදියර මීට පෙර සැලසුම් කළ පරිදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම තරගමාලාවට සහභාගි වන බව මේ වන විට ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ආසියා රග්බි සංගමයට දන්වා ඇතැයි ද වාර්තා වේ. එවැනි තත්ත්වයක් තුළ ඉහළ ප්‍රවර්ධන ක්‍රීඩක සංචිතයක් ගොඩ නඟා නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් අනුව පුහුණුවීම් සිදු කර එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම රග්බි බලධාරීන්ගේ වගකීමකි.

තහවුරු කර තිබියදීත් ආසියා රග්බි තරගමාලාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි නොවන්නේ නම් ලබන වසරේදී එහි දෙවැනි කොටසේ තරගාවලිය දක්වා පහළ බැසීමට සිදු වනු ඇතැයිද ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

ෆවුස් මොහොමඩ්