ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම වැනි උත්තරවලින් අපි උපරිම දුර ගොස් ඇති බවත් රේටින්ස්වලින් පහලට වැටී ඇති නිසා අපට ණයක් දීමට කවුරුත් ඉදිරිපත් වන්නේ නැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.
ඊයේ (12) කොළඹ ගලදාරී හෝටලයේ පැවති ‘CNCI Achievers Awards 2021 for Industrial Excellence’ උළෙලෙට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා,
“අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ‘රේටින් ආයතනයක්’ ‘රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.
අපි කියනවා සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙනවා කියලා. නමුත් පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යවනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණය ලෙස පිළිගැනීමට අපහසුයි. කෙසේ නමුත් මේ මා ඉදිරිපිට සිටින ඔබ තමයි අතීතයේ සිට මේ අර්බුදයට උත්තර සෙවීමට කැප වූ පිරිස.
එදා සිට අපේ රට පුරුදු වුණේ ‘විදේශ ණය මත රටේ සංවර්ධනය’ කියන සංකල්පය බලගන්වා පෙන්වීමට. එදා සිට විශාල අයවැය පරතරයක් හැදෙනවා. එම පරතරය පියවීමට ණය ගැනීමට බල කෙරෙනවා. ණය ගනිමින්, එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමන කෙළවර, අපට නිර්දය ඇත්තට මුහුණ දීමට සිදුව තිබෙනවා.
අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාටද? ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.
‘මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ.
රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්.”