18 වැනිදා ස්වෛරීත්ව බැඳුම්කරයට ගෙවිය යුතු ණය ගෙවීම අත්හිටුවමින් එම ණය කල්තබා ගෙන ගෙවීමේ ක්‍රමයකට සාකච්ඡා මට්ටමින් එලැඹිය යුතු බව ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි.
එමගින් අප සතු සංචිත ප්‍රමාණය රට ගොඩ නැගීමට යොදවා අප වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට හැකියාව පවතින බවත් නිශාන් ද මෙල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඊ මහතා මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන් මහතා,
“18 වැනිදා ස්වෛරීත්ව බැඳුම්කරයක් සඳහා මුදල් ගෙවන්න තියෙනවා. මේකත් එක්ක රටේ ඉදිරි අනාගතය සඳහා කන්න හාල් ඇටයක්වත් ඉතුරු වෙයිද කියලා මිනිස්සු කතාවෙනවා හැමතැනම. සමහරවිට ණය ගෙවීම අත් හිටුවීමෙන් බංකොලොත් වීමෙන් වැලකෙන්න පුළුවන්. අපි හිතනවා ණයක් ගත්තොත් ඒක ගෙවන්නම ඕනෙ කියල. අපිට බයක් තියෙනවා ණය ගෙව්වෙ නැත්නම් අපේ රට බ්ලැක් ලිස්ට් වෙයිද කියල. එහෙම වෙන්නෙ නෑ වෙන්නෙ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටෙන එක විතරයි. අපි දැනටමත් ශ්‍රේණිගත වීම්වලින් ගොඩක් පහලට වැටිලා ඉවරයි. බ්ලැක් ලිස්ට් වෙනවා කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ණය ගැනීමට නොහැකිවීම පමණයි. අපිට ඒ දේ වෙලා දැන් අවුරුද්දකට වැඩියි. ජනාධිපති කිව්වට අපි ලෝකෙන් ණය ගත්තෙ නෑ කියල අපි ඇත්තටම ණය ගත්තා. IMF එකෙන් ගත්තා, ලෝක බැංකුවෙන් ගත්තා. ජපානෙන්,චීනෙන් ගත්තා. 18 වැනිදා ණය ගෙව්වෙ නෑ කියල අපිට ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අපි තවත් ශ්‍රේණිගත කිරීමවලින් පහළට වැටෙයි. හැබැයි ඒ මිලියන 500 ඉතුරු කරගෙන රටේ අවශ්‍යතාවලට යෙදුවොත් අපිට රටක් විදියට දියුණුවක් ලබන්න පුළුවන්. මේ වෙලාවෙ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි රටට ප්‍රමුඛත්වය දීම. ඩොලර් හිඟය තුළ රටේ ආර්ථිකය ගොඩගත්තෙ නැත්නම් අපිට ඉදිරියටවත් ණය ගන්න බෑ. ශ්‍රේණිගත කිරීමේ ආයතන හොඳට විශ්ලේෂණය කරලා තමයි එම ශ්‍රේණිගත කිරීම කරන්නෙ. මේ වෙනකන් කිසිම රටක් ඒ ශ්‍රේණිගතකිරීම් වැරදියි කියල කියලා නෑ. ණය ප්‍රමාණය, ණය පිළිබඳව රජයේ ආදායමෙන් වියදම් වෙන ප්‍රමාණය වගේ නිර්ණායක මත තමයි ඒ ආයතන ශ්‍රේණිගත කිරීම කරන්නෙ. එතනින් ලංකාව ඉන්නෙ ඉහළම තැනක. 2021දී රජයේ ආදායමෙන් 71% ක් ණය පොලියට විතරක් වියදම් වෙලා තියෙනවා. මීට කලින් කිසිම අවුරුද්දක එහෙම වෙලා නෑ. දක්ෂතාවය කියන්නෙ රට බිල්ලට දීලා ණය ගන්න එක නෙවෙයි. රටට ප්‍රමුඛත්වය දීලා ණය ගෙවන එක තමයි දක්ෂතාවය.”