― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩ තහනමට ලක් වූ නාලක සිල්වා ගැන පොලිස්පතිට නියෝගයක්

වැඩ තහනමට ලක් වූ නාලක සිල්වා ගැන පොලිස්පතිට නියෝගයක්

2018 වසරේ වැඩ තහනමට ලක් කෙරුණු ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පූර්ණ වැටුප ගෙවීමට ඇති හැකියාව සොයා බලන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූවා.

එහිදී ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයිරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනුයි මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට අඩ වැටුපක් ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කළා.

මෙහිදී පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර 4කට ආසන්න කාලයක් වැඩ තහනමට ලක්ව වැටුප් රහිතව සිටින බැවින් ඔහුට පූර්ණ වැටුප ගෙවීමට කටයුතු කළ යුතු බව දන්වා සිටියා.

එහිදී විනිසුරුවරු විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළේ පෙත්සම්කරුට අඩ වැටුපක් ගෙවීමට සාමාන්‍යයෙන් හිමිකමක් පවතින බැවින් එම අඩ වැටුප ගෙවීමට පියවර ගන්නා ලෙසයි. ඊට අමතරව පෙත්සම්කරුට පූර්ණ වැටුප ගෙවීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම ලබන පෙබරවාරි මස 27 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. 2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.