බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (25) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය. ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයා අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දන්වා සිටියාය.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවාගෙන සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කර සිටියේය.
“ස්වාමීනි.. මෙම බෝම්බය දේවස්ථානය තුළ තිබී සොයාගන්නේ ජනවාරි මස 11 වනදා. එදින දේවස්ථානයේ තිබූ CCඨ්V දර්ශන නිරීක්ෂණය කිරීමේදී පුද්ගලයකු පැමිණ දේවස්ථානය තුළ බෝම්බය තිබී හමුවූ තිබූ ස්ථානයේ සැකකටයුතු ආකාරයෙන් හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. එදිනට කලින් දින එනම් ජනවාරි මස 10 වන දා දේවස්ථානයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළ විටත් මෙම සැක කටයුතු පුද්ගලයා දේවස්ථානය තුළ සැරිසරමින් බෝම්බය තිබුණු ස්ථානය බලාගෙන යන ආකාරයක් දක්නට ලැබෙනවා. පොලිසිය මෙම කරුණු සියල්ල පසෙකලා තමයි මෙම විමර්ශනය සිදු කරන්නේ. මෙම විමර්ශන සිදුකරන ආකාරය වැරදි සහගත නිසයි මෙම CCඨ්V දර්ශන අප ප්‍රසිද්ධියට පත් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන “මුනින්ද්රන්” නැමැත්තා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම බෝම්බය තැබූ බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. සිදුවූ දෑ හරියාකාරව විමර්ශනය කරන්නේ නැතිව අහිංසක පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් රඳවාගෙන සිටිනවා.”යනුවෙන් ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා චෝදනා කර සිටියේය.
මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඊට අදාළ CCඨ්V දර්ශන අධිකරණයට භාර දෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා,
“ස්වාමීනි… පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 1,000ක් සම්පූර්ණ වීම වෙනුවෙන් තේවත්ත දේවස්ථානයේ විශාල දේව මෙහෙයක් ජනවාරි මස 14 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මෙම බෝම්බය හමුවන්නේ ජනවාරි මස 11 වනදා. හඳුන් කූරක් දල්වා එම බෝම්බය පිපිරී යන ආකාරයට සූදානම් කර තිබුණා. යම් හෙයකින් මෙම බෝම්බය පිපිරී ගොස් තිබුණා නම් ජනවාරි 14 වනදා පාස්කු ඉරු දින සැමරුම් දේව මෙහෙයට ජනතාව එන්න බිය වෙනවා. ඒ නිසා ජනවාරි 14 වනදාට යෙදී තිබුණු පාස්කු ඉරු දින සැමරුම් දේව මෙහෙය අඩාල කිරිමේ අරමුණින් මෙම බෝම්බය තැබුවාද යන සැකය අප තුළ ඇති වී තිබෙනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේය.
එබැවින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි හෙයින් මෙම පරීක්ෂණය එම කොට්ඨාශයෙන් ඉවත්කොට වෙනත් අංශයක් වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් අයැද සිටියේය.
ඉන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
තම සේවාදායකයා දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට 2006 වසරේ විශ්‍රාම ගිය අයෙකු බවත් ඔහු 75 පස් වන වියේ පසුවන බව සඳහන් කළ නීතිඥවරයා ඔහු රෝගාබාධ කීපයකින් පෙළෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
“ස්වාමීනි.. ඉකුත් 17 වනදා මාගේ සේවාදායකයාගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කඩාවැදුණා. ඔවුන් නිවස සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කළා. නිවැසියන්ගේ සියලුම ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක පොලිසිය භාරයට ගත්තා. එසේ ගත් බවට කිසිදු ලියවිල්ලක් පොලිසිය විසින් ඔවුන් වෙත නිකුත් කර නැහැ. පසුව මාගේ සේවාදායකයා අත්අඩංගුවට ගත්තා. ඔහුගේ නිවසේ තිබී ආයුධ ගබඩාවක් සොයාගත් බවත් ජනමාධ්‍යවල පළ කර තිබුණා. පොලිසිය මෙම නිවස පරීක්ෂා කළේ අධිකරණ නියෝගයක් වත් නැතිවයි. පසුව අපි ජනමාධ්‍යවලින් දැනගත්තා බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී බෝම්බයක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව.” යනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයා අමතා මෙම සැකකරුවන් අත්අඩංගුවේ ගැනීම සහ සිදුකර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් එම පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීම අනවශ්‍ය බව පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා,
“ස්වාමීනි ජනමාධ්‍යවල සඳහන් කර තිබුණා 1974 වසරේ මෙම වෛද්‍යවරයා බෞද්ධ කාන්තාවක් සමග විවාහ වීමට සූදානම් වූ අවස්ථාවේදී උදෑසන 10.00 ට පැවැත්වීමට නියමිත දේව මෙහෙය ලබාදීම අදාළ දේවස්ථානයෙන් පූජකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඊට පළිගැනීමක් වශයෙන් ඔහු එම දේවස්ථානයේ මෙම බෝම්බය තැබූ බව. වසර 40කටත් පසුවයි මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට මතක් වී තිබෙන්නේ. විමර්ශන සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනමාධ්‍යවල පළ කර තිබෙනවා. එහෙත් ඒවා අධිකරණයට වාර්තා වී නෑ. විමර්ශනවලදී අනාවරණය වන රහස්‍ය තොරතුරු ජනමාධ්‍යවලට ලැබෙන්නේ කොහොමද කියන එක බරපතළ ප්‍රශ්නයක්. ඇතැම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන “බී” වාර්තාවෙත් නැහැ. එම නිසා මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින්නේ නම් ඔවුගේ සෞඛ්‍ය තත්ත්වය, පොලීසිය තුළදී ඔහු සැලකීමට භාජනය වන ආකාරය වැනි කරුණු නිරික්ෂණය කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා.” එම නිසා මෙම පරීක්ෂණ අපක්ෂපාතීව මෙහෙය වන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ, මෙම විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය කරුණු ජනමාධ්‍ය ඔස්සේ පළ වීම තමන්ට ද ගැටලුවක් බවය.
ඉන් අනතුරුව කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන මිසම භාර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය බරපතළ සිද්ධියක් බව සඳහන් කර සිටියේය.
“ස්වාමීනි.. පොලිසිය විසින් සිදුකරන විමර්ශනවල විනිවිඳභාවය ගැන ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ජනවාරි මස 11 වන දා කාදිනල් තුමන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කළා. ඉන් අනතුරුව තමයි බෝම්බය තැබූ බවට සැක කරන පුද්ගලයා ගැන අනාවරණය වුණේ. නැතිනම් පොලිසිය කුමන අතකින් මෙම පරීක්ෂණය කරාවිද? යන්න අපටත් හිතාගන්න බැහැ. කෙසේ වෙතත් මෙම පරීක්ෂණවල අපක්ෂපාතී භාවය, විනිවිඳභාවය, සත්‍යය සොයා නියම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවනවාද යන්න කෙරෙහි මාගේ සේවාදයකයින් දැඩි අවධානයකින් පසු වනවා.” එම නිසා මෙම පරීක්ෂණ නිසියාකාරව සිදුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින විත්තියේ නීතිඥ මහතුන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩි සේ කණගාටු වන බව සඳහන් කළේය.
“ස්වාමීනි.. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අප අත්අඩංගුවට ගත්තා. ඉන් එක් අයකු රක්ෂිත බන්ධනාගාර ගත කළා. සෙසු සැකකරුවන් හයදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත් රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. අප කිසිවක් සඟවන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කරනවා. පුවත්පත්වල පළවන දේවල් අපේ විමර්ශන නෙවෙයි. ඒවා යම් යම් තැන්වලින් අහුලාගත් කෑලි. ඒ සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අදාළ පරීක්ෂණ තවමත් අවසන් නැහැ. කිසිම සැකකරුවෙක් අපි අනවශ්‍ය ලෙස රඳවා ගන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණ අවසන් කළ වහාම අපි අධිකරණයට ඉදිරිපත් කරනවා.” යනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින්,
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත වරින්වර කරුණු වාර්තා කර තිබෙනවා. එම කරුණු නිරීක්ෂණය කිරීමේ දී යම් විමර්ශනයක් සිදුවෙන බව මටත් පෙනී යනවා. එම පරීක්ෂණය පැවැත්වෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ. ඒ නිසා ජාතික ආරක්ෂාව වගේම පුද්ගලයින්ගේ නිදහස ආරක්ෂා වීමත් වැදගත්. ඒ නිසා පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතුයි.” යනුවෙන් සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන්ට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පෙබරවාරි මස 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.
අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු තවදුරටත් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් අධිකරණය නියෝග කළේය.
ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා.
“CCTV කැමරා දර්ශනවලින් හොයාගත් නිසා කාදිනල් හිමිපානන්ට පුළුවන් වුණා මේකේ ඇත්ත නැත්ත හොයාගන්න. නීතිය ක්‍රියාත්මක කරන අයට පවා බලපෑම් කරන තත්ත්වයකට එද්දී කාදිනල් හිමිපානන්ගේ මේ වදන් තමයි මේක නිවැරිදි දිශාවකට පරීක්ෂණ නියමාකාරයෙන් කරන්නට යොමුවෙලා තියෙන්නේ. උන්වහන්සේ ඇත්තටම අපි කියනවා මේ රටේ නිලනොලත් පොලිස්පති නිලනොලත් ආරක්ෂක ඇමතිතුමා, රාජ්‍ය නිලධාරීන් හැම කෙනාගෙම වැඩ උන්වහන්සේ තමයි අද දවසේ කරන්නේ. එහෙම නැතිනම් ඒ ගොල්ලන්ගේ අර පෙර කරපු සැලැස්ම අපිව බිය වද්දන්ට කරපු ඒ සැලැස්ම සාක්ෂාත් කරගන්න ඉඩ තියෙනවා.”