ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළා.
මෙම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් ඩයනා ගමගේ අත්අඩංගුවට ගනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට පෙන්වා දී තිබුණා.
එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එහි තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවයි.
එබැවින් තම අධිකරණය විසින් මීට අදාළව නියෝගයක් නිකුත් කිරීම අනවශ්‍ය බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඉන් අනතුරුව නඩුව දිනයක් නොමැති බහා තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළා.